කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාවෙන් රිවොල්වරයක් සහ පතොරම් 10ක් සොරාගෙන රුපියල් 100,000කට මාවතගම අමිල නැමැති පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (05) රාත්‍රීයේදීයි.
රිවෝල්වරයට යොදන පතොරම් 10ක් සහ පිස්තෝලවලට යොදන මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 10ක් ද ගිනි අවිය සමඟ මෙම නිලධාරියා විසින් සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අවි ගබඩාව භාර පොලිස් නිලධාරියා ගවඩාවේ ඇති ගිනි අවි සහ පතොරම් ගැන කළ සංගණනයකදී අවිය සහ පතොරම් 10ක් අතුරුදන්ව ඇතැයි පෙනී ගිය බැවින් ඒ ගැන ඊයේ ඔහු සිය උසස් නිලධාරීන් දැනුවත්කර තිබෙනවා.
ඒ අනුව පොලිසියේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදී මෙම සැකකාර සැරයන්වරයා අවි ගබඩාවට පැමිණ තොප්පියක් තුළ සඟවාගෙන අවිය රැගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය සොරගත් බව පිළිගෙන තිබෙනවා.
එම අවිය මාවතගම අමිල නැමැති පුද්ගලයාට ලබාදුන් බවද ඔහු පවසා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
පසුව ඔහු රැදී සිටි පොලිස් බැරැක්කය පරීක්ෂා කිරීමේදී ඔහුට අයත් ඇඳුම් දමන යකඩ කබට්ටුවේ සඟවා තිබී අත් බෝම්බයක් සහ අත්විලංගුවක්ද හමුවී තිබෙනවා.
මෙම සැකකරුගේ තොරතුරු මත මාවතගම අමිල නැමැත්තා සොයා විමර්ශන ආරම්භකර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.










