ඊයේ (30) දිනයට යෙදුණු නිකිණි පුර පසළොස්වක් පොහෝදා පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානට බීමතින් කඩාවැදුණු 10 කින් යුත් කල්ලියක් එම විහාරස්ථානයේ බෝධි පූජා පවත්වමින් සිටී ස්වාමීන්වහන්සේට මරණ තර්ජනය කර පහරදීමෙන් උන්වහන්සේ සහ තවත් දායකයකු අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිීසිය කියයි. (Sri Lanka Latest News)
බරපතළ තුවාල ලබා ඇත්තේ පිඹුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාමය විහාරස්ථානයේ පසුවස් සමාදන් වූ පිඹුරත්තෑව ධම්මරක්ඛිතාලංකාර නැමැති 28 වියති සාමණේර හිමිනමක් හා ඔහුගේ සහෝදරයෙකු බව පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
මෙලෙස කඩාවැදුණු කල්ලිය දේපලවලට හානිකර රුපියල් ලක්ෂයක මුදලක් පැහැර ගෙනගොස් ඇති බවට පිඹුරත්තෑව සිළුමිණිසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන්වහන්සේ විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද අරලගංවිල පොලිසිය කියයි.
මරණ තර්ජනය කර පහරදී විහාරස්ථානයේ දේපලවලට හානිකර ඇත්තේ අරලගංවිල පිඹුරත්තෑව ගම්මානයේම පදිංචි තරුණයන් පිරිසක් බවත්, ඔවුන් ගම්මානයෙන් පලාගොස් ඇති බවත් අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල සඳහන් කළේය.
මරණ තර්ජනය කිරීම, බියවැද්දීම, දේපළවලට හානි කිරීම, මංකොල්ලකෑම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තමන්වහන්සේ අරලගංවිල පොලිසියට පැමිණිලි කර බවත්, මේ සම්බන්ධ වහාම පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පිඹුරත්තෑව සිළුමිණසෑය විහාරාධිපති අම්පාරේ කුසලධම්මාලංකාර නායක ස්වාමීන්වහන්සේ ඉල්ලීමක් කළහ.
පසුගිය කාලවල තමන් වහන්සේ ඇතුළු සාමණේර භික්ෂුන් වහන්සේලා ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට විරුද්ධව තදින් ක්‍රියාත්මක වූ බවත්, මෙම ගම්මානයේ තරුණයන් කිහිපදෙනෙකු මත්ද්‍රව්‍යවලට ගොදුරු වි ඔවුන් ප්‍රසිද්ධියේ ස්වාමීන්වහන්සේට සහ දායක කාරකාදීන්ට පහරදී දේපොළවලට අලාභ හානිකර මංකොල්ලකෑම බරපතළ සිද්ධියක් බවද නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළහ.
බීමතින් විහාරස්ථානයට පැන කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සියලුදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔවුන් ඉතා කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් හේමපාල වැඩිදුරටත් කීවේය.
lankasara










