ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
හැටන් රුවන්පුර මට්ටුකැලේ වත්ත ප්‍රදේශයේ ජල නලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පහර කෑමට ලක්වූ තිදරු පියෙකු අද (28) දින මියගොස් තිබේ.Sri Lanka Latest News
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම වතුයායේ පදිංචිව සිටි 39 හැවිරිදි එස්. සත්‍යමූර්ති නැමැති අයෙකි.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල හිඟයක් පවතින අතර, ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර කලක පටන් මතභේදයක් පැවතී ඇත.
පසුගිය පෙබරවාරි 24 වැනිදා රාත්‍රී 9.00 ට පමණ මෙම ජල ප්රශ්නය මුල් කරගනිමින් දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම ආරවුල ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එහිදී හිසට එල්ල වූ බරපතල පහරදීමකින් සත්‍යමූර්ති නැමැති අය බරපතල තුවාල ලබා ඇත. ඔහු වහාම දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින උදෑසන ඔහු මියගොස් ඇත.
මෙම ගැටුමේදී අනෙක් පාර්ශවයේ පුද්ගලයා ද තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර සාක්ෂි සටහන් කර ගැනීමට හැටන් පොලිසිය පියවර ගෙන ඇත.
හැටන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.



















