.
‘දිවයින’ ජාතික පුවත්පතේ සහාය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක රෝහණ විජේවීර ජවිපෙ පක්ෂ තහනමින් පසු 1984 මැයි 10 වැනිදා දිවයින ප්‍රධාන කර්තෘ එඩ්මන් රණසිංහට සිය නියෝජිතයකු මගින් අතින් ගෙනැවිත් භාරදෙන ලද ලිපිය මෙන්න.Sri Lanka Latest News
මෙම ලිපිය මාගේ ලිපිගොනු අතර තිබී යළිත් හසුවිය. එවක දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වන මා වෙත මෙම ලිපිය සුරැකිව තබාගැනීම සඳහා භාරදෙන ලද්දේ එවක මාගේ අංශ ප්‍රධානියා වූ දිවයින ප්‍රවෘත්ති කර්තෘ උපාලි තෙන්නකෝන්ය. මවිසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ‘විජේවීර ඝාතන අබිරහස’ යන කෘතියට සවිස්තර කරුණුද සහිතව මෙය එක්කර ඇත.
හැටදහසක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරැල්ල පිළිබඳ දශක දෙකක පමණ මාගේ ගවේෂණාත්මක වාර්තාකරණයේදී සොයාගත් කරුණු අනුව ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක වෙනුවට ජවිපෙ 1983 ජූලි තහනමින් පසුව ඔහුගේ අස්සන ගැසුවේ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්දගේ උපදෙස් පරිදි මධ්‍යම කාරකසභික රවී ගමගේ හෙවත් මහානාමය. එමෙන්ම 1983 ජූලිවලින් පසු ජවිපෙ නායක රෝහණ විජේවීරගේ අස්සන ගැසුවේද ජවිපෙ දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත්ගේ උපදෙස් අනුව මරදාන පංචිකාවත්තේ පිහිටි සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගාමිණී විජේගුණසේකරගේ මගපෙන්වීම යටතේ වෘත්තීය සමිති සම්මේලන කාර්යාලයේ භාරකරු පාතේගම මාතුපාලය. සියලු පාර්ශ්වයන් වසර 6ක් තිස්සේ පිළිගත් අන්දමට එවක යොමුකරන ලද සෑම ලිපියක්ම මෙන් මෙය ජවිපෙ නායක රෝහණ විජේවීරගේ අස්සන බවට බහුතරය විසින් පිළිගනු ලැබූවකි. (ප්‍රින්ස් ගුණසේකර වෙත 1989 මැයි 14 වැනිදා යවන ලද ලිපියේද සඳහන් වන්නේ මෙම අත් අකුරුය) ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා මෙය මෙසේ ප්‍රථමවරට පළකරන අතර මුල් පිටපත මේ සමග අමුණා ඇත. එම සම්පුර්ණ ලිපිය මෙසේය.
1984 මැයි 10දා
කොළඹදීය.
රෝහණ විජේවීර
සභාපති,
ජනතා විමුක්ති පෙරමුණ.
එඩ්මන්ඩ් රණසිංහ මහතා,
ප්‍රධාන කර්තෘ,
දිවයින කාර්යාලය,
සිරිල් සී. පෙරේරා මාවත,
කොළඹ 13.
ප්‍රිය මහත්මයාණෙනි,
මා විසින් ජනාධිපතිතුමාට යවන්නට යෙදුණු ලිපියකුත් අග්‍රවිනිශ්චයකාරතුමන්ට යවන්නට යෙදුණු ලිපියේ ඇතැම් කරුණුත් ඔබ පුවත්පතේ පළකිරීම සඳහා ඔබට හද්‍යාංගම කෘතඥතාව පළකිරීමට පළමුවෙන්ම මේ අවස්ථාව උපයෝගී කරගනිමි. ඇත්තෙන්ම එහිදී ඔබ දැක්වූ එඩිතරකමත්, විශේෂයෙන්ම වින්දිතයන් හිඟ කාලයක සාධාරණත්වයත් පැසසිය යුතුය. ඔබ මෙහෙයවන පුවත්පත රටේ පළවන සෙසු ජාතික යැයි කියාගන්නා පුවත්පත්වලට වෙනස් අයුරකින් ක්‍රියා කරමින් දුෂ්කරතාවන් යටතේ වුවත් යුක්තියත් සාධාරණතාවයත් වෙනුවෙන් හඬක් නැගිය යුතු බව අප විසින් තේරුම් ගෙන ඇති බව ඉතා නිහතමානීව පවසමි.
අද රට ඉතාමත් විපත්තිදායක භයානක අවස්ථාවකට මුහුණ පා ඇති බවත් ජාතිය එහි ඉතිහාසයේ දරුණුතම අර්බුදයට අවතීර්ණ වී ඇති බවත් ඔබද පිළිගන්නවා ඇත. පසුගිය පෙබරවාරි 05 වැනිදා ඔබ ලියූ කතුවැකිය අනර්ඝ එකකි. ඉතින් ඒ දූෂණය හා හොරකම් නිලධාරි කමිටුවට පමණක් සීමා වූවක්ද? අද සියල්ලටම වඩා දුෂණයෙන්, වංචාවෙන් උල්පත වී ඇත්තේ දේශපාලන නායකත්වය නොවේද? හිල්ටන් හෝටල් සංකීර්ණයේ ආයෝජනය, කොමිස් ගැහිලි, ඉහළින්ම කෙරෙන හොරකම්, දූෂණ හා කොන්ත්‍රාත් දීම්, මුදල් නෝට්ටු හොරට මුද්‍රණය ආදී කී නොකී සියල්ලන්ම කියාපාන්නේ අද රට පාලනය කරන්නේ ‘ඔටුනු පලන් චෞරයින්’ පිරිසක් විසින් බව නොවේද?
ත්‍රස්තවාදය නැසීමට වහසිබස් දොඩන මේ නායකත්වය සැබෑ ලෙසින්ම ත්‍රස්තවාදයේ නිධානය නොවේද? දේශපාලන පරමාර්ථ සඳහාත් පුද්ගලික පරමාර්ථ සඳහාත් ත්‍රස්තවාදය ඉහළින්ම උපයෝගී කරගන්නේ මොවුන් නොවේද? නිකලෝ මකියවේලිගේ අප්පොච්චිලා බවට පත්වී ඇති මේ ඔටුනු පලන් ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්තවාදී පීඩනයට මේ වනවිට ගොදුරු වී නැති ක්ෂේත්‍රය කුමක්ද? කම්කරුවන්, ශිෂ්‍යයන්, විරුද්ධ දේශපාලන පක්ෂවල නායකයන්, අධිකරණය, පුවත්පත් ආයතන ආදී සෑම සියලු අංශයන්ම මේ ඔටුනු පලන් ත්‍රස්තවාදයේ රහ විඳ පුරුදුය. අද ඇත්ත කියන්නට පුළුවන්ද? නිදහසේ කතා කරන්නට පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදය අද ඔටුනු පලන් ත්‍රස්තවාදයට බියෙන් සැඟවී පලාගොස් නොවේද?
අද ඔටුනු පලන් දාමරිකයන් අතළොස්සක් ජාතිය මත සිය අසුබ ආධිපත්‍යය දිගටම පවත්වාගෙන යාම සඳහා පුද්ගලික දේශපාලන අරමුදල් පිහිටුවීමත්, පුද්ගලික හමුදා ගොඩනැගීමත් කරගෙන යනු ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඉතා දුෂ්ට ලෙස ජාතිය විදේශීය වහල්භාවයට පත්කිරීමට කටයුතු කරනු පෙනෙන්නට තිබේ. අඥාන ලෙස රට දෙකඩ කිරීමේ ඉම වෙත ගෙනයනු පෙනෙන්නට තිබේ. අද සත්‍ය වළලා බොරුව රජ කරවයි. ජනමතය වළලා ආඥාදායකත්වය රජකරවයි, යුක්තිය වළලා අයුක්තිය රජකරවයි, මිනිස් අයිතින් වළලා දාමරිකකම් රජකරවයි. මෙය දේශපාලනඥයකු වශයෙන් මගේ අත්දැකීම පමණක් නොව පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔබගේද අත්දැකීමක් බව මම දැඩිලෙස විශ්වාස කරමි. මේ තත්ත්වය මේ රටටත්, ජාතියටත් තව කොතෙක්කල් විඳදරාගෙන සිටිනු හැකිවේද?
අපේ පක්ෂය තහනම් කර අපව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිවාදීන් නියෝග දී ඩග්ලස් ලියනගේ මගින් (1962 රජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ අධිකරණයෙන් දඬුවම් ලැබූ නායකයා) සන්නද්ධ හමුදාවල ප්‍රධානීන්ට හොර රහසේම හැකි නිමේෂයෙන් අපව මරාදැමීමට නියෝග දී ඇත්තේ අන්කිසිවක් කියාපෑමට නොව ඔටුනු පලන් චෞරයන්ගේ මේ ප්‍රතිපත්තිවලට අප විරුද්ධ නිසාය.
අද ආණ්ඩුව විසින් හොර රහසේම ත්‍රස්තවාදී සංවිධානයන් පිහිටුව ඇත. ඒ ඔටුනු පලන් අපරාධකාරයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගනු සඳහාය. සිදුවීම් මෙලෙස සිදුවීමට ඉඩදී යුක්තිගරුක සාධාරන මිනිසුන්ට, රටටත් ජාතියටත් ආදරය ඇති මිනිසුන්ට ඇස් පියාගෙන දෙකන් වසාගෙන, මුවගුළුලාගෙන, දෑත් බැඳගෙන නිසොල්මනේ එළිපත්තට වී බලාගෙන සිටීමට නුපුළුවන. යුක්තිගරුක සාධාරණ මිනිසුන් එඩිතරභාවයකින් යුත් මිනිසුන් එසේ කළහොත් එය අද ජාතික අපරාධයක් වනු ඇත. අද අවශ්‍යව ඇත්තේ මේ ප්‍රශ්නයට එරෙහිව, මේ දාමරිකකම්වලට එරෙහිව, මේ ආඥානකම්වලට එරෙහිව, මේ අසාධාරණයටත් අයුත්තියටත් එරෙහිව සියල්ලන්ගේ එකමුතු බවකි. ජාතිය මේ විනාශයෙන් බේරාගත හැක. එය දුෂ්කරය. ඒත් එය කළ හැක. ඒ සඳහා සියලු අවංක මිනිසුන්ගේ ශක්තිය එක්රැස් කිරීමට අවශ්‍ය වනු ඇත.
වෙනම ඊළාම් රාජ්‍යයක් ඉල්ලා උද්ඝෝෂණය කළ හා කරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හත්දෙනකුගෙන් හය දෙනකුම තමිල්නාඩුවට යෑමට ඉඩදී ඇත. දැන් ඔවුහු එහි සිට ඊළාම් කැරලිකරුවන්ගේ සංවිධාන එකමුතු කරති. ඒ ගමන්ම මේ බව සාකච්ඡා කරති. කිසිදු වරදක් කර නැති අපගේ පක්ෂය තහනම් කර අපව අත්අඩංගුවට ගැනීමට එළිපිට නියෝග දී අපව මරාදැමීමට රහසින් නීති විරෝධීව නියෝග දෙති. ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ උපායමාර්ගික සිරකරුවන් බවට පත්වී ඇති බව පෙනේ. ආණ්ඩුව ලවා දේශප්‍රේමී ව්‍යාපාරයට තර්ජනය කරලා ඒ මගින් ආණ්ඩුවත්, දේශප්‍රේමී වමේ ව්‍යාපාරයත් අතර ගැටුම් ඇති කිරීමත්, ආණ්ඩුවත් ඉන්දියානුවන් අතර ගැටුමක් ඇති කිරීමත් ආණ්ඩුවත් සමාජවාදී රටවලුත් අතර ගැටුමක් ඇතිකරලීමත් මේ සියල්ල මතින් ඊළාම් සටනට වාසිදායකතාවක් නිර්මාණය කර ගැනීමත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ උපාය මාර්ගයක් බව පෙනේ. ආණ්ඩුව අද ක්‍රියාවට නගන්නේ මෙයම නොවේද? වාමදේවන් වැනි උතුරට යාමට අකැමැතිව අස්වූ අය යළි පොලිසියේ සේවයට පැමිණ ක්‍රියාත්මක වන්නේ මේ උපාය මාර්ගය සඳහා නොවේද?
ඔබ සමග කීමට බොහෝ දෑ තිබේ. ඒත් මෙවැනි ලිපියක් මගින් එය කිරීම දුෂ්කරය. කෙසේ වෙතත් රට ජාතියෙන් මේ අඥාන දාමරික චෞරයන්ගෙන් බේරාගැනීම සඳහා ඔබත් අපත් සෙසු හැමෝමත් අතර පොදු එකඟත්වයක් ඇතිකර ගැනීමට නුවණ පෑදේවායි පතමින් ඔබ වැන්නන්ගේ මේ එඩිතර වචනවලින් ශුභ පතමින් නවතමි.
මව්බිමේ සතුරන් පරදා ජයගැනීම සඳහා එඩිතරවන්න, එඩිතරවන්න, නැවතත් සැරයක් එඩ්තර වන්න, සැමවිටම එඩිතරවන්න.
මීට අවංක,
අස්සන් කළේ
රෝහණ විජේවීර
සභාපති – ජනතා විමුක්ති පෙරමුණ.
(වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ 04 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071-2733986 යන වට්ස්ඇප් අංකයෙන් විමසිය හැකිය.)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න
මීට දින දෙකකට පෙර මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මුහුණු පොතේ සටහනක් පළකරලා තිබුණා. එහි සඳහන් වූයේ ‘දිවයින ජාතික පුවත්පතේ සහාය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ජවිපෙ පක්ෂ තහනමින් පසු 1984 මැයි 10 වැනිදා දිවයින ප්‍රධාන කර්තෘ එඩ්මන් රණසිංහට සිය නියෝජිතයකු මගින් අතින් ගෙනැවිත් භාරදෙන ලද ලිපියක් මෙන්න’ යන මැයෙන් ලියවුණු සිරස්තලයක් ද සහිතවයි. එහිදී එම ලිපිය ගැන මෙන්ම එම ලිපිය ලියූ ආකාරය පිළිබඳවද තොරතුරු පළකොට තිබුණා. එහිදී ඔහු සඳහන් කොට තිබුණා ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන අය සඳහා මෙම ලිපිය ප්‍රථම වරට මෙසේ පළකරන අතර එහි මුල් පිටපතද ඒ හා අමුණා ඇති බවත්, එම ලිපියෙහි ඇති අත්අකුරු සහ අස්සන රෝහණ විජේවීරයන්ගේ නොව ‘මාතුපාල’ යන අයගේ බවත්. තවද ධර්මන්ගේ ලිපියේ මෙසේද සඳහන්ය. ‘මෙම ලිපිය මගේ ලිපිගොනු අතර තිබී අද යළිත් හමුවිය. මේ ලිපිය මා වෙත සුරැකිව තබාගැනීම සඳහා භාරදෙනු ලැබුවේ මගේ අංශ ප්‍රධානියා වූ උපාලි තෙන්නකෝන් විසිනි.’ තවද එහි මෙසේද සටහන් කර තිබුණි. ‘අස්සන් කළේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්දගේ උපදෙස් පරිදි මධ්‍යම සභික රවී ගමගේ’ය.
ඉහත ප්‍රවෘත්තිය සහමුලින් සාවද්‍ය එකක් බව හොඳින් දැන සිටි මා ඒ පිළිබඳ මගේ මිත්‍ර අරුණ කාන්ත බණ්ඩාරට දුරකතනයෙන් කතාකොට ඒ බව පවසා සිටියේය. එයට හේතු වූයේ ධර්මන් වික්‍රමරත්න මහතා මා හොඳින් දන්නා අයෙකු වුවත්, මීට මසකට පමණ පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටන 1985 ආරම්භ කළ එකක් බවට ඔහු ලියා තිබුණු සටහනක වරද පෙන්වා දෙමින් මා ඔහුට දන්වා සිටියා. ඒ පිළිබඳ මේ දිනවල ශාන්ත හෙට්ටිආරච්චි ලියාගෙන යන බවත් එම සටන ආරම්භ වුණේ ද වර්ෂ 1985 දී නොව 1979 දී ලෙස නිවැරදි විය යුතු බවත්ය. එහෙත් එහිදී ඔහු මට එවපු පිළිතුර වූයේ ‘අවුරුදු හතළිහක් තිස්සේ ලියනවා. කාව රවට්ටන්නද?’ යනුවෙනි. මේ පිළිතුර පිළිබඳ මගේ ලොකු පැහැදීමක් තිබුණේ නැති නිසා මම ධර්මන්ට කතාකරන එක තේරුමක් නැහැ කියලා හිතාගෙන තමයි අරුණ කාන්තට මේ ගැන කිව්වෙ. අරුණ ධර්මන් සමග ඒ කතාව පවසා තිබුණා. ඒත් ඔහු මගේ මතය ප්‍රතික්ෂේප කර තිබුණා. ධර්මන් වික්‍රමරත්න යමක් කීවට පිළිනොගන්නා නිසාම මේ පිළිබඳ තවදුරටත් ඔහු සමග කතාකිරීම තේරුමක් නැහැ කියලා මම නිහඬ වුණා.
ඇත්ත වශයෙන්ම ඒ ලිපිය රණසිංහ මහත්මයාගේ අතට නෙමෙයි පත්වුණේ දයාසේන ගුණසිංහ මහතා අතට. ඒක ගිහින් දුන්නෙ මම.
නමුත් ඊට පසුව මට අරුණ කාන්ත බණ්ඩාර එවා තිබුණු දුටුවා. උපාලි තෙන්නකෝන් මහතා මේ පිළිබඳ ඇත්ත තත්ත්වය හෙළිදරව් කරමින් මුහුණු පොතෙන් තැබූ සටහනක් සහ එම ලිපියේ පිටපතක්. ඇත්තෙන්ම එය විජේවීරයන් ඔහුගේ අත්අකුරින් ලියපු ලිපියේ සත්‍ය පිටපත බව තහවුරු කරගැනීමෙන්ම පසු පළකළ බව ඔහු අවධාරණය කර තිබුණා. මමද එම අත්අකුරු පැහැදිලිව හඳුනාගත්තා. මේ සිද්ධිය පිළිබඳ මා මිත්‍ර ශාන්ත හෙට්ටිආරච්චිටත්, දැන්වූවා. පසුව ශාන්ත හෙට්ටිආරච්චි උපාලි තෙන්නකෝන් මහතාට මේ බව දැන්වීමෙන් පසුව ඊයේ උපාලි තෙන්නකෝන් මහතා ඇමෙරිකාවේ කැලිපෝනියාවේ සිට මට දුරකතනයෙන් කතාකර මේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කළා.
උපාලි තෙන්නකෝන් මහතා පවසන අන්දමට ධර්මන් වික්‍රමරත්න විසින් පළකිරීමට යන පොතකට මෙම ලිපිය අවශ්‍ය බව කී නිසා ඒ ලිපියේ පිටපත ලබාදී ඇත. ඔහු සතුව තිබූ එම ලිපියේ පිටපත ඔහුට සොයාගැනීමට නොහැකි වූ නිසා එඩ්මන් රණසිංහ මහතාගේ දියණිය වන නිර්මලා රත්නායක මහත්මිය ගෙන් එය ලබාගෙන පසුව එය ධර්මන්ට ලබාදුන් බව ඔහු අවධාරණය කළා. වෙනස් ලෙස එය සටහන් කිරීම ගැන ඔහුගේ මෙන්ම රත්නායක මහත්මියගේ පුදුමය හා අප්‍රසාදය ද පළකර සිටිය.
එම ලිපිය දයාසේන ගුණසිංහයන්ට බාරදීමට මාව ඔහු වෙත කැඳවාගෙන ගියේ අනුර සිරිවර්ධන මහතායි. අනුර ඒ වනවිට දිවයින පුවත්පතේ කටයුතු කළ අතර 1987 දී පමණ විදුසර ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය. අනුරත් මාත් 80 දශකයේ මුල් කාලයේ සිටම ඉතාම ළඟින් ආශ්‍රය කරන දෙදෙනෙකි. අනුර සිරිවර්ධන මට හඳුන්වා දුන්නේ වෛද්‍ය ලලිත පියරිසිය. මහ රෝහලේ 470 වෛද්‍ය නේවාසිකාගාරයේදී ඒ දිනවල දිනපතාම පාහේ සෝමවංශ අමරසිංහ හමුවන්නේ එහිදී බවට මීට පෙරද පවසා ඇත. මේ අනුව දිවයිනට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කළේ මා බව මා වගකීමකින් ප්‍රකාශ කර සිටිමි. පසුව එම සබඳතාව සෝමවංශ අමරසිංහට මා ලබාදුණි. උපාලි තෙන්නකෝන් මහතාගේ දුරකතන සංවාදයෙන් පසුව මා ශාන්ත හෙට්ටිආරච්චි හරහා අනුර සිරිවර්නධන මහතාටද කතාකොට මේ කරුණ පිළිබඳ පැහැදිලි කළේය. ඔහු දයාසේන ගුණසිංහයන්ට මා හඳුන්වා දීම පිළිබඳ ඔහුගේ මතකය ඉතා පැහැදිලි බව පවසා සිටි අතර මේ කරුණු ප්‍රසිද්ධ කිරීම සඳහා මෙන්ම මුහුණු පොතේ සඳහන් කිරීමට ද ඒ දෙපළගේ අවසරය මට ලැබිණි.
මා මෙය කියන්නේ මාතෘකාවේ සඳහන් කළ පරිදි ඉතිහාසය ඉතිහාසයක් ලෙසම සටහන් කළ යුතු නිසාය.
මේ ලිපියට පදනම් වූ අනෙක් කරුණුද මෙහි සටහන් කිරීම අතිශය වැදගත්ය. අසූතුනේ කළු ජූලියට මුවාවී ජයවර්ධන ආණ්ඩුව විසින් නීති විරෝධී සදාචාර විරෝධී ලෙස ජවිපෙ තහනම් කිරීමට පසුව මමද, එවකට ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ, භාණ්ඩාගාරික සෝමරත්න කළුආරච්චි වෛද්‍ය නිහාල් අබේසිංහ ඉංජිනේරුවන් දෙදෙනකු වූ ලලිත් චන්ද්‍රසිරි සහ විරාජ් ප්‍රනාන්දු වැනි අය හතරවැනි තට්ටුවේ සිටියේය. මෙම තහනමෙන් පසුව ජවිපෙ දැවැන්ත නායයෑමක් සිදුවූ අතර දේශපාලන මණ්ඩලයේ සිටි පොඩි රත්නායක, පසුකලක සෝමරත්න කළුආරච්චි ද පක්ෂය හැරගිය අතර එම කාලයේදී දේශපාලන මණ්ඩලයේ සිටි වාස් තිලකරත්න මතභේද මත ඉවත් කිරීමට සිදුවූ අතර ජවිපෙ මධ්‍යම කමිටුවෙන්ද සෑහෙන දෙනෙක් ඉවත්වී එම වසරේ දෙසැම්බර් අප නිදහස් වනවිට ජවිපෙ මහා පසුබෑමකට ලක්වී තිබිණි. එහෙත් උපතිස්ස ගමනායක, පියදාස රණසිංහ, සුමිත් අතුකෝරල, නන්දතිලක ගලප්පත්ති වැන්නවුන් මෙන්ම උදේනි සමන් කුමාර (මධ්‍යම කමිටු සාමාජික) හොඳින් ක්‍රියාකාරීව සිටියේය. ඒ වනවිට ඩී.එම්. ආනන්ද හෝ එච්.බී. හේරත් දේශපාලන මණ්ඩල සභිකයන් නොවීය. 1983 ජූලි සිට දෙසැම්බර් දක්වා හතරවැනි තට්ටුව ඇතුළේ සිටියදී ලයනල් බෝපගේත්, මමත්, තොරතුරු කළමනාකරණය කළේ එළියේ සිටි දයා වන්නිආරච්චි, සෝමවංශ අමරසිංහ මෙන්ම ලයනල් බෝපගේගේ බිරිඳ චිත්‍රා බෝපගේ හරහාය. චිත්‍රගෙන් සමහර පණිවුඩ උදේනිට ලබාදී ඇති බව උදේනි මට දැන්නුවා. ඒ නිසා මෙම පෝස්ටුව යාවත්කාලීන කළා. (උදේනි සහ මගේ සම්බන්ධය 1976 වනවිට පමණ එන එකක්. 1976 තහනම ඉවත් වීමට පෙර පවා එම ගනුදෙනුව තිබුණි)
මෙම තොරතුරු මගේ බිරිඳ විජිතා හෝ එසේත් නැත්නම් දන්ත ශල්‍ය ආයතනයේ සිටි වසන්ත බණ්ඩාර හමුවීමට පැමිණ ඔහු හරහා එළියට යැවූ ඒවාය. අප නිදහස් වීමෙන් පසුව 1984 ජනවාරි මාසයේදී ලලිත් චන්ද්‍රසිරි හා විරාජ් ප්‍රනාන්දු (ඔවුන් දෙදෙනාම අදටත් ජීවතුන් අතර සිටින නිසා වගකීමකින් මෙය සටහන් කරමි) අප තිදෙනා මරදානෙන් දුම්රියකින් හපුතලේ බලා ගියේය. ලලිත් දුම්රියේ මුල් මැදිරියකද, මා එහි අවසන් මැදිරියකද විරාජ් මැද පෙට්ටියකද ගමන් කළ අතර අප හපුතලේට ගොස් විජේවීරයන් හමුවිය. එවකට ඔහු සැඟව සිටියේ හපුතලේ රෝහලේ වෛද්‍යවරයෙක් සමගය. ඒ වෛද්‍යවරයා කිසිම දිනක අත්අඩංගුවට පත් නොවුණේ අප ඔහුව පාවා නොදුන් නිසාය. රෝහණ සහෝදරයාගේ ආරක්ෂකයා ලෙස ඒ වනවිට කටයුතු කළේ 1977 වනවිට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි තවමත් ජීවතුන් අතර සිටින අනුරාධපුර උපාලි රන්දෙනියගේ මල්ලි, 1989 දී මරාදැමූ කුමාර රන්දෙනියයි.
මර්දනයෙන් පසු ජවිපෙ නැවත ගොඩනැගීම සඳහා කොළඹින් ආරක්ෂක ස්ථානයක් සොයාගත යුතු බව එහිදී තීන්දු කළ අතර ලලිත්, විරාජ්, වසන්ත බණ්ඩාර සහ මා මැදිහත්ව බත්තරමුල්ලේ දැනට නිවාස අමාත්‍යාංශය පිහිටි පාරේ පාස්පෝට් කන්තෝරුව කෙළවරේ දෙපසට බෙදෙන පාරේ මුල්ලේ තිබුණු තට්ටු දෙකේ නිවස කුලියට ගත්තේය. සෝමවංශ අමරසිංහ සමහර විට නැවතී සිටියේ එහි වූ අතර විජේවීරයන් කොළඹ ආ විට නවතින්නේද ගනුදෙනු කළේද, අප සමග සාකච්ඡා පැවැත්වූයේ ද එම ස්ථානයේ. වරක් එංගලන්ත ශාඛාවේ ලැනරෝල් පැමිණි විට ආරක්ෂක හේතූන් උඩ ඔහු හමුවීමට දේශපාලන මණ්ඩලය ගත් තීන්දුව වෙනස් කොට අපගේ ඉල්ලීම මත රෝහණ සහෝදරයා හා අචාද ලැනරෝල් මුණ ගැසුණේ මෙතැනදීය.
රෝහණ විජේවීර සහෝදරයා කිසි දිනක මෙම කාලය තුළදී තම අස්සන යෙදීමට වෙන කෙනකුට භාර දුන්නේද නැත. කොම්පියුටර් වැනි දෙයක් නොතිබුණු ඒ කාලේ ඔහු සියලු ලිපි ඔහුගේම අත් අකුරෙන් සටහන් කළ ඒවාය. මෙහි අස්සන සහතික කිරීම සඳහා ඔබ සමග මා තව දෙයක් බෙදාගනිමි. එනම් 1983 තහනමට පෙර මාර්තු 06 වැනිදා ඔහු සහභාගි වූ මගේ විවාහයේදී සාක්ෂිකරුවකු ලෙස අස්සන් කෙරුණු මගේ විවාහ සහතිකයයි.
ඉතිහාසය සටහන් විය යුතු වන්නේ ඉතිහාසය ලෙසම පමණක් යන බව මා නැවත අවධාරණය කරන අතර මෙතෙක් ඉතිහාසයේ හෙළිදරව් නොකළා වූ බොහෝ කරුණු ඉතා ඉක්මනින් හෙළිදරව් කිරීමට ද බලාපොරොත්තු වන බව සටහන් කරමි.
මා කියන දේවල් කිසිදා ඉස්පිල්ලක් පාපිල්ලක් හෝ අතිශයෝක්තියෙන් කියා නොමැති සේම, ඒ කියන සෑම දේට වාචික හෝ ලිඛිත සාක්ෂි සෑම විටම මා සතුව ඇත. සෝමවංස අමරසිංහ ඇතුළු තවත් බොහෝ දෙනකුගේ අත්අකුරින් ලියවුණු දේවල් මා 2009 දී හෝ 2010 විජිත හේරත් සහෝදරයා (ඒ කාලයේ ඇමැතිවරයකු නොවූ නිසා එසේ සටහන් කරමි)ටද මා පෙන්වා ඇත.
එයට ප්‍රධාන හේතුව වන්නේ ඉතිහාසය (සාධනීය හෝ නිෂේධනීය) උඩින් පල්ලෙන් අතගා එම ඉතිහාසයට අසාධාරණයක් කිරීමට ඉඩදිය නොහැකි මෙන්ම ඇත්ත කරුණු අතරට එකතු කරන ලද සාවද්‍ය කරුණු මත ඉතිහාසය විකෘති කිරීමට ඉඩ දීමට නොහැකි බරපතළ වගකීමක් අප දෙවුර මත පවතින නිසාය.
මේ සටහන ඒ නිවැරදි ඉතිහාසය වෙනුවෙන් ලියා තබමි.


මහාචාර්ය අතුල සුමතිපාල










