බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ දී සිදු විය.Sri Lanka Latest News
මේ හමුවේ දී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති බංකොලොත්භාවය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වු අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම බංකොලොත්භාවයෙන් මිදීම සඳහා තමා සහ තම කණ්ඩායමට පවතින සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.
එසේ ම වත්මන් රජයේ දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් අපේක්ෂාවෙන් සිටින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහෝසි කර මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව දරණා වෑයම පරාජය කළ යුතු බවත් ජනතාව අපේක්ෂා කරන පාලනයක් බිහි කිරීම තමා සහ තම කණ්ඩායමේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා ප්‍රමුඛ දූත පිරිසට පෙන්වා දුන්නේය.
මෙම හමුව සඳහා බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී Humairaa Hatia සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, පළමු ලේකම් ටොම් සෝපර් ද එක් විය. එසේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් මේ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිරෝෂන් පෙරේරා මහතා එක්විය.