ඉන්ධන මිලදී ගැනීම සඳහා වන QR කේතය බාගත කරගැනීමට අදාළව මේ වන විට ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් එවැනි ව්‍යාජ වෙබ් අඩවිවලට නොරැවටී නිවැරැදි QR කේතය ලබා ගැනීම සඳහා ‘https://fuelpass.gov.lk/’ යන වෙබ් අඩවිය ඔස්සේ පමණක් තම තොරතුරු ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ පැවසීය.
QR කේතය බාගත කරගැනීමේදී නියමිත වෙබ් අඩවියට පමණක් යා යුතු අතර මේ දිනවල ඒ හා සමානම ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් නිරීක්ෂණය වූ බව හෙතෙම පැවසීය. ව්‍යාජ වෙබ් අඩවිවලට තොරතුරු දීමේදී ඇතැම් අවස්ථාහිදී තමන්ගේ නීත්‍යානුකූල QR කේතය ලබා දුන් අවස්ථාද නිරීක්ෂණය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ පැවසීය.
QR කේතය බාගත කිරීමට අදාළව වාහනයේ චැසි අංකය, නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ආදිය වෙනත් පුද්ගලයකු අතට පත්වුවහොත් කිසියම් වංචාකාරී සිද්ධියක් හෝ අපරාධමය දෙයකට වුවද මෙය යොදාගැනීමේ හැකියාවක් පවතින බවද හෙතෙම කීවේය.
ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ වැඩිදුරටත් මෙසේද පැවසීය.
“QR කේතය තහවුරු කරගන්න කියලා ලින්ක් එකක් එවන්න පුළුවන්. යම් රජයේ ආයතනයක් විදියට ව්‍යාජ වෙබ් අඩවි හදල තිබෙන්න පුළුවන්. කිසිම වෙලාවක එවැනි ලින්ක් හරහා යන්න එපා. හොඳම දේ https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් පමණක් යන්න. අනෙක් කාරණය QR කේතය ඇතැමුන් නොදැනුවත්කම නිසා සමාජ මාධ්‍යයේ බෙදාහරිනවා. ඒ දේ කරන්න එපා. තමන්ගේ QR කේතය තමන්ට පමණයි. ඕටීපී අංක පවා වෙනත් පාර්ශ්ව අතට පත්වෙන්න දෙන්න එපා.”










