ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුල්වීමට උත්සහ ගෙන පසුව චීන ගුවන් ගමන් බලපත්‍රයකින්මෙරටට ඇතුල් වූ Li Pan නම් චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියන්නේ අදාළ චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබූ බවයි.
අදාළ චීන ජාතිකයා තවත් චීන ජාතිකයෙක් සහ ඊජිප්තු ජාතිකයෙක් සමඟ පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා. ආගමන විගමන නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවක දී සැකයට ලක්වූ චීන ජාතිකයාගේ ගිනියාවේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සැක මතුවී ඇති අතර සිදුකළ සොයාබැලීමක දී ඔහු සතුව තිබි චීන ගුවන් බලපත්‍රයක් හමුවී තිබෙනවා.
එම චීන ජාතිකයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි කියන්නේ.
මේ අතර විවිධ දුරකථන ඇමතුම් ලැබී තිබුණු බවත් පසුව එම චීන ජාතිකයා වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද ලිඛිතව ම ඉල්ලීමක් කර තිබුණා. ඔහු පවසා තිබුණේ මෙම චීන ජාතිකයා සිය අමාත්‍යංශය යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමයකට ආයෝජනය කිරීමට පැමිණි පුද්ගලයෙකු බවයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කළ බවත් ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දී වැරදිකරු බවට ඔප්පු වුවහොත් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය සඳහන් කරනවා.