දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේදී පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඕනෑම නාලිකාවක දූෂිත ගල්අගුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමා අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පැවසීය.
වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.
සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇත.
ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතුය.










