හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් ඇතුළු ඖෂධ ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදුවූ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධ විමර්ශනයක් මේ වන විට සිදු වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රිවරයකු වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා අතුළු පක්ෂයේ සියලු දෙනාම එකට එකතු වී විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එකට එකතු කර විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ඒ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයාව 113 දෙනකු ආරක්ෂා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 73ක් එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවත් මේ දූෂණ වංචා සියල්ලටම එවක සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ඔහුව රැකගන්න පාර්ලිමේන්තුවේ කටයුතු කළ 113 දෙනාම එක හා සමානව වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 58 වැනි අදියර යටතේ අනුරාධපුර, කලා වැව මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂපාතී වී ඔහු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් සොයා බලන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම 113 දෙනාත් මේ හොර ඖෂධ වංචාවට සම්බන්ධ වූ අය බවත් මේ සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හොරා කන්න පනත් පවා වෙනස් කළ රජයක්
එසේම පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම පෙරදැරි කර ගෙන ප්‍රසම්පාදන ක්‍රමවේද මගහැර තමන්ගේම ගජමිතුරන්ට එකී කොන්ත්‍රාත් ලබා දෙන පනත් සම්මත කළේ ද වත්මන් රජය බවත් මොවුන් බංකොලොත් රටෙත් වංචා දූෂණ සිදු කර හොරකම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
සෘජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ හොරකම වංචාව නිසා
සැබෑ නායකයන් නම් සැබැ හැකියාවක් ඇත්නම් සෘජු විදේශ ආයෝජනවලින් පොහොසත් කිරිමේ හැකියාව තිබිය යුතු බවත් සෘජු විදේශ ආයෝජන එන්නේ නැත්තේ රටේ ඇති හොරකම වංචාව ප්‍රෝඩාව දේශපාලන අවස්ථාවාදීත්වය නිසා බවත් ජනතාවට සේවය කරන්න එන බව පවසා ඡන්දය අරන් පාර්ලිමේන්තුවට පැමිණි පසු වාසි පැත්ත බලා ගෙම්බන් මෙන් පැති මාරු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආදාහනය භූමදානය යන ගැටලුවේදී පවා සිදුවූයේ එවැන්නක් බවත් එවැනි ජරාජීරණ වු දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇති බවත් අප කුමන දේශපාලන මතයක් දැරුවත් විනය ගරුක, ශිෂ්ටසම්පන්න විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 58ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 552ක් වැය කර තිබේ.






























