කොළඹ අලුත්කඩේ ශාන්ත බස්තියන් කන්දේ පිහිටා තිබූ පස්මහල් ‘දවස’ නිවෙස පත්තර කලාවේ ආධුනිකයන්ට දක්ෂතා මත ඉහළට යෑමට ඉනිමග බැඳි පත්තර විශ්වවිද්‍යාලයක් බඳුයැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. එයින් කලඑළි බැසගත් කිසිදු මාධ්‍යවේදියකු දේශපාලන අතකොළු නොවීමේ අභීත පන්නරය අතීතය තුළ ලියැවී ඇත්තේද අදටත් සාඩම්බර මතකයන් ඉතිරි කරමිනි. තිත්ත ඇත්ත ගැන රටට කියන්නට අභීතව පෑන මෙහෙවවූ ‘දවස’ මාධ්‍යවේදීන්ගේ නිවහනට දේශපාලන සෙනසුරු අපලය අරන් ාවේ එහෙමත් නැත්නම් සීල් තබා වසාදැමුවේ එවක පැවැති සිරිමා බණ්ඩාරනායක රජයයි. එදා හාල් පොලු, මිරිස් පොලු ගැන පමණක් නොව කොළඹ පිහිටි දේශපාලනඥයන්ගේ මන්දිර පිටුපස සුනඛයන් බාස්මතී පිරි කුණු කූඩ අවුස්සද්දී ඒවා ඡායාරූපගත කළේද ‘දවස’ය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා මහජනයාට බත් කෑම මහජනතාවට පමණක් තහනම් වෙද්දී ඒ තහංචි කැඩුවේද ඇතැම් දේශපාලනඥයන්ය. Sri Lanka Latest News
1977 දේශපාලන සුළි සුළඟින් ඒ දේශපාලන භූමිකාවන් අතුගෑවී යද්දී බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධනගේ එදා එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්වීමත් සමග ‘දවස’ යදම් බිඳීගිය වකවානුවේදී මා හටද ‘දවස’ට එක්වීමට ලැබීම එදා මා ලද මාධ්‍ය වාසනාවක් ලෙස අදටත් මතකයේ අලුත් වෙමින් තිබීම ගැන ඇත්තේ අවංක ආඩම්බරයකි. ‘දවස’ට එන නවක මාධ්‍යවේදීන්ට උදේ පත්තර ගොනු නොබලා වැඩ ඇරැඹීමටද අවසර නැත. එය මෙහෙයවූයේ එදා ‘දවස’ ප්‍රධාන කර්තෘවරයාව සිටි අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා සමග කරට කර සිටි ප්‍රවෘත්ති කර්තෘ රෝහණ ගමගේ මහතාය. ‘දවස’ පත්‍රයේ වාර්තාකරුවන් සියලු දෙනාම ඔවුන්ට භාරදී ඇති ආරක්ෂක අංශ මෙන්ම අමාත්‍යාංශවල සැඟවුණු තොරතුරු සොයා ‘දවස’ නිවෙසින් එළියට යා යුතුය. ඒ සෑම කෙනකුටම ‘දවස’ දුරකතන පාවිච්චියට අවසර ලැබුණේ ප්‍රවෘත්ති සොයාගෙන යළි කාර්යාලයට පැමිණි පසුවය.
අද මෙන් එදා කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡා නොහොත් කියවන විට ලියාගැනීමේ පත්තර කලාවක් තිබුණේද නැත. ඇමැති මණ්ඩල රහස් එදා ප්‍රසිද්ධ නොකිරීම සෑම රජයක්ම කළ දෙයකි. ඇමැති මණ්ඩල තීරණ ගන්නා දිනට මමත් ‘සන්’ පත්‍රයේ සහෝදර මාධ්‍යවේදියකුත් වාහනයක් රැගෙන ගාලුමුවදොර අසලට ගොස් රැක සිටියේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට සවස 4.00ට පමණ ගාලුමුවදොර ව්‍යායාම කිරීම සඳහා එන ඇමැතිවරුන් පසුපස යමින් ඔවුන්ගෙන් කැබිනට් රහස් හෙළිකර ගැනීමටය. ඒ සඳහා අපට මහත් ආයාසයක් දැරීමටද සිදුවිය. එදා ඒ සඳහා අපගේ පත්තරයේ මිතුරන් බවට පත්ව සිටියේ හිටපු අමාත්‍යවරුන් වූ පෙස්ටස් පෙරේරා, එස්.ඩී.ආර්. ජයරත්න ඇතුළු තවත් ඇමැතිවරුන් කීප දෙනෙකි. ගාලුමුවදොර පිටියේ ඔවුන් ඇවිදගෙන යද්දී ඔවුන් සමග අපද ඇවිද යමින් කැබිනට් රහස් එළියට ගත්තෙමු. එදා එවැනි කැබිනට් රහසක් ‘දවස’ පත්‍රයට පමණක් සීමා වන ලෙස සොයා පළකළහොත් ඒ සඳහා රුපියල් 300ක මුදල් ත්‍යාගයක්ද කාර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකගෙන් හිමිය. මෙම අවධියේ එනම් 1979 දශකය උතුරු-නැගෙනහිරින් කොටි ත්‍රස්තවාදයද පැටව් ගසමින් සිටි අවධියකි. උතුරේ පොලිස් නිලධාරීන් ඝාතන සිදුවූ යුගයක් බව අදටත් සිහිපත් වන්නේ එදා ජනතාවට අප්‍රසන්න යුගයක් වීම නිසා මිස ඒ සාහසිකයන්ට ප්‍රශස්ති ගයන්නට නොවේ. ඒ යුගය අප කොටුව පොලිස් මූලස්ථානයට දිනපතා යමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හමුවී ප්‍රවෘත්ති සෙවීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ කාලයකි. හතරවැනි තට්ටුව නමින් ප්‍රසිද්ධ රහස් පොලිසියේද අප සමග රහසින් ඇසුරු කළ උසස් නිලාධාරීන්ද සිටියේය.
මෙම අවධියේ දිනක් සවස 5.00ට පමණ මා හඳුනන රහස් පොලිසියේ සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු මා හට කීවේ පසු දින සවස තමන් ඇතුළු රහස් පොලිස් කණ්ඩායමක් යාපනය බලා යන බවත්, එම ගමනට ඔහු සමග යෑමට ව්‍යාපාරික හිතවතකු ලෙස වෙස් වලාගෙන මට පැමිණෙන ලෙසත්ය. ඔහුගේ එම රහසිගත ආරාධනාව ලද විගස මා දිවගියේ ‘දවස’ කර්තෘවරයාව සිටි එස්.එල්. ගුණසේකර මහතා හමුවීමටය. මා එම ආරාධනාව ගැන ඔහුට කී සැණින් ඔහු කීවේ,
‘යාපනයට යන ගමනේ අවදානමක් තියෙනවා. ඒකේ වගකීම ඔයාම භාරගන්නවා නම් රහස් පොලිසිය සමග යාපනයට ගිහින් තොරතුරු සොයාගෙන ආවට මගේ අකැමැත්තක් නෑ. කොහොම නමුත් ඔය ගමන ගැන රෝහණ ගමගේටත් කියන්න…’ යනුවෙනි. ඒ අවසර මැද පසුදින මා ගමනට සූදානම් වී රහස් පොලිස් ප්‍රධානියා පදිංචිව සිටි කොළඹ නිවෙසට ගියෙමි. එදින රාත්‍රී 7.00ට පමණ රහස් පොලිස් නිලධාරීන් හතර දෙනකු රැගත් ජීප් රථයක් එම නිවෙස ඉදිරිපිට නැවැතිණි. ඒ අනුව රහස් පොලිස් ප්‍රධානියාද මා සමග ජීප් රථයට ගොඩවුණේ යාපනය බලා යෑමේ අදහසිනි. ඉදිරිපස මැද ආසනයේ මා හිඳගත් අතර, රහස් පොලිස් ප්‍රධානියා දොර අසල අසුනේ අසුන්ගත්තේ පසුපස වාඩිවී සිටි රහස් පොලිස් නිලධාරීන්ට මා ව්‍යාපාරික හිතවතෙක් ලෙස හඳුන්වා දෙමින්ය. ජීප් රථයේ පසුපස අසුනකට මා ගියා නම් ඔවුන් සමග වැඩිපුර කතාබහට යොමුවන නිසා රහස් පොලිස් ප්‍රධානියා මගේ ආරක්ෂාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය.
එදින රාත්‍රී අප නවාතැන් ගත්තේ අනුරාධපුර නගරයේ සංචාරක නිවහනකය. ඒ, පසුදින අලුයම යාපනය බලා පිටත්ව යෑමේ සූදානම ඇතිවය. රහස් පොලිස් ප්‍රධානියා ඔහු සමග යන රහස් පොලිස් ඛණ්ඩායමට මා හඳුන්වා දුන්නේ මා රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික පවුලකින් පැවැත එන විජේසේකර නමැත්තෙකු ලෙසටය.
පසුදින උදේ යාපනය බලා පිටත්ව යෑමට පෙර අප නැවතී සිටි ස්ථානයේ සූදානම් කර තිබූ තේ මේසයට ගොස් මා රහස් පොලිස් ප්‍රධානියා සමග කතාකරමින් සිටියදී හදිසියේම එම ස්ථානයට කඩාවැදුණේ ‘දවස’ පත්‍රය අතේ තබාගත් රහස් පොලිස් නිලධාරියෙකි. එම පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබුණේ ‘රහස් පොලිස් නිලධාරියකු යාපනයේදී වෙඩිතබා මරයි’ යන ප්‍රධාන සිරස්තලය සහිත පුවතකි. එම පුවත මා ලියා තබා ආවේද මේ යන ගමන සනිටුහන් කරන කතාවක් ලෙසයි. රහස් පොලිස් කණ්ඩායමක් යාපනය බලා යන බවක්ද එම පුවතේ සටහන් කර තිබිණි. රහස් පොලිස් ප්‍රධානියා ළඟට පැමිණි එම නිලධාරියා කියා සිටියේ ‘සර්, අපි මේ යන ගමන ගැනත් මේ පත්තරේ තියෙන නිසා අපේ ගමන අවදානමක් තියෙනවා’ යනුවෙනි. ඒ ගැන අවධානය යොමු නොකළ රහස් පොලිස් ප්‍රධානියා ඔහුට කියා සිටියේ, ‘අපි යන ගමන ගැන අපේම කවුරු හරි තොරතුරු දීලා ඇති. ඒක ඉතින් ඒ මාධ්‍යවේදියාගෙ ජොබ් එකනේ. සද්ද නැතුව ඉන්න…’ යනුවෙනි. එසේ කියූ ඔහු පසුව මා හට උපදෙස් දුන්නේ කිසිවකුට සැකයක් ඇති නොවන ලෙස ඉදිරියේදී හැසිරීමට වගබලා ගන්නා ලෙසයි.
අප ගමන් ගත් ජීප් රථයේ කාපට් යට මැෂින් තුවක්කු කීපයක්ද සූදානමේ තබාගෙන සිටින බවක්ද මට දැකගන්නට ලැබිණි. ජීප් රථයේ ගමන් කරද්දී රහස් පොලිස් ලොක්කා මට ඇසෙන ලෙස අනෙක් අයට කීවේ, ‘අද සමහර විට රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති අමරසේන රාජපක්ෂ මහතාත් යාපනයේදී අපට හමුවේවි’ කියාය. මෙම ප්‍රකාශයෙන් මා සිතාගත්තේ යාපනයේදී ජීප් රථයෙන් නොබැස හැකි තරම් ප්‍රවේසමෙන් සිටින්නටය. රහස් පොලිස් නිලධාරියා ඝාතනය වූ ස්ථානයට ගිය රහස් පොලිස් කණ්ඩායම ඔහුගේ නිවෙසටද ගොස් මවුපියන් දූදරුවන් සමග කතාබහ කරමින් සිට පසුව මා පමණක් ජීප් රථයේ තනිකර යාපනය පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පසුගියදා සිදුවූ තවත් එවැනි අපරාධයන් ගැන තොරුතුරු ලබාගෙන ආපසු කොළඹ බලා ඒමට පිටත් විය. ඒ වනවිට එනම් 1979 පෙබරවාරි 02 වැනිදා වනවිට වෙඩිකා මියගිය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 11ක් විය.
යාපනයේ පරීක්ෂණ අවසන් කොට කොළඹ බලා එද්දී හොඳටම රෑ බෝවී තිබිණි. ජීප් රථයේ සිටි රහස් පොලිස් නිලධාරීන් කතාබහක යෙදුණේ මහමගදී කෙසේ හෝ වන අලියෙක් දෙන්නෙක් දැකබලා ගැනීමේ ආශාව ගැනයි. ජීප් රථයේ පිටුපසට වන්නට සවිකර තිබූ කහ පැහැති දුර විහිදුම් ලාම්පුව දැල්වූ විට දුර සිටින වන සතුන් හෝ මිනිසුන් පැහැදිලිව දැකගත හැකි විය. ජීප් රථය වවුනියාවට ආසන්නව ගමන් කරමින් තිබියදී ආ වන අලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරනු දැකගත හැකි විය. ඉන් එක් වන අලියකු මාර්ගය අසල රැඳී සිටින ආකාරය අපට දැකගත හැකි වුණේ ජීප් රථයේ සවිකර තිබූ විශේෂ ලාම්පුවේ ආලෝක ධාරාවෙන්ය. අප එම ස්ථානය පසුකර යනවාත් සමගම ආලෝක ධාරාව වැදීමත් සමග කලබලයට පත්වූ අලියා මහ හඬක් නගමින් ජීප් රථය පසුපස ලුහුබඳින්නට පටන් ගත්තේය. ජීප් රථයේ වේගය වැඩි කළද අලියාද වේගයෙන් අප පසුපස ගුළියක් මෙන් පන්නන්නට විය. එම ලුහුබැඳීමෙන් කලබලයට පත්වූ රහස් පොලිස් නිලධාරීන් ජීප් රථයේ කාපට් යට සඟවා තිබූ මැෂින් තුවක්කු පිටතට ගෙන සූදානම් වූයේ බැරිම අවස්ථාවකදී වෙඩි තැබීමක් සිදුකිරීමටය. එහෙත් එදා තනි අලියාගේ වාසනාවට ඌ ක්‍රමයෙන් වේගය අඩාළ කොට කැලෑ වැදී නොපෙනී ගියේය.
ඒ වනවිට තරමක තද වැසි සහිත කාලගුණයක්ද පැවැති නිසා මහා මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් පිරී පැවැතිණි. ඒ එන අතරමගදී රහස් පොලිස් ප්‍රධානියාගේ නියෝගයෙන් තේ පානය කිරීම සඳහා ජීප් රිය නතර කළේ රාත්‍රී ආපනශාලාවක් අසලය. එහිදී රහස් පොලිස් නිලධාරීන්ට තවත් අහඹු සිදුවීමකටද මැදිවීමට සිදුවිය. ජීප් රථය නැවැත්වූ ආපනශාලාව අසල යාපනය බලා යන ලොරි රථ කීපයක්ද නවතා තිබිණි. මහ වැස්ස නිසා එම ආපන ශාලාව අසලින් ගලායන කුණු කානුවද උතුරා යමින් තිබිණි. ඒ ස්ථානයේ යට ඇඳුම පෙනෙන ලෙස සරම කෙටිකර ඇඳ, කිණිස්සක් ඉණේ ගසාගෙන ලෑලි තට්ටුවක් මත හිඳගෙන ලොරි රියැදුරන්ට අසභ්‍ය වචනයෙන් බැණවදිමින් සිටියේ ඒ ප්‍රදේශයේ සැරිසරන කප්පම්කරුවෙකි. ඒ වනවිටත් ලොරි රියැදුරන්ගෙන් කප්පම් එකතුකරගෙන සිටි ඔහු අප පැමිණි ජීප් රථය දෙස බැලුවේ උපහාසාත්මක සිනහවක් පාමින් සහ අසභ්‍ය වචනයෙන් බණිමිනි. පොලිස් ජීප් රථය ගැන කිසිදු බියක් ඔහු තුළ නොවීය. රහස් පොලිස් කණ්ඩායමේ ඉවසීමේ සීමාවද ඉක්ම ගොස් තිබෙන අයුරු මට නිරීක්ෂණය විය. රහස් පොලිස් නිලධාරීන් අතර සිටි කරාටේ ශූරයකුට පොලිස් ප්‍රධානියා ඇසින් යම් ඉඟියක් කළේය. එසැණින් එම පොලිස් සැරයන්වරයා කප්පම්කරුට එල්ල කළ පා පහරින් ඔහු කරකැවී ගොස් වැටුණේ වතුර පිරී තිබූ කුණු කානුවටය. කුණු වතුරෙන් නාගෙන යළි හිස ඔසවද්දී රහස් පොලිස් නිලධාරියා තවත් පාපහරක් ඔහුට එල්ල කළේය. විදුලි සැරයක් වැදුණා සේ යළි වතුර පිරි කානුවටම වැටුණු කප්පම්කරු පිටතට පැන මහා මාර්ගය දිගේ දිවගොස් අඳුරේම නොපෙනී ගියේය. එතැන සිටි ලොරි රථ රියැදුරන් සියලු දෙනාම රහස් පොලිස් නිලධාරීන්ට මුව පුරා ස්තුති කළේ සෑමදාම රාත්‍රී කාලයේ මේ මැරයා ආපනශාලාව අසලට පැමිණ රියැදුරන්ගෙන් හිතූ හිතූ ගණන් කියමින් කප්පම් ගන්නා බව කියමිනි. අප එම ස්ථානයෙන් පිටටවෙද්දී රාත්‍රී 11ත් පසුවී තිබිණි. වවුනියාවේදී රාත්‍රී ආහාර ගත් රහස් පොලිස් කණ්ඩායම සමග අප කොළඹට ළඟාවන විට පසුදා අලුයම පහ පසුවී තිබිණී.
රහස් පොලිසිය සමග ව්‍යාපාරික වෙස් ගෙන යාපනයට ගොස් සොයාගත් තොරතුරු අලළා මම ‘දවස’ පුවත්පතට ප්‍රවෘත්ති වාර්තාවක් සහ ‘රිවිරැස’ පුවත්පතට විශේෂ ලිපියක් සකස් කළෙමි. රහස් පොලිසිය සමග රහසේ ගිය එම ගමන ගැන මම අදටත් සතුටු වෙමි. මාධ්‍යවේදීන්ට සියලු උපායමාර්ගයන් යොදා ප්‍රවෘත්ති හඹායෑමේ පුහුණුව ඇතිකළේ ‘දවස’ නිවෙසේ කතුවරුන්ගේ මාර්ගෝපදේශ නිසා බව මා සිහිපත් කරන්නේ අපට ශිල්පය දී දිවියෙන් සමුගත් එම කර්තෘවරුන්ට පින් දෙමිනි. එදා මා පැය 48කට හෝ රහස් පොලිසිය සමග ව්‍යාපාරික වෙස් ගැනීමට මා ධෛර්යවත් කළේ එවක රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු මෙන්ම කෙටි කලක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය දැරූ ස්ටීවන් නමැති මාධ්‍ය හිතවතාය. වසර 15කට අධික කාලයක් රහසක්ව තබාගත් මෙම තොරතුර මා හෙළිකරන්නේ මගේ මාධ්‍ය ජීවිතයේ තවත් අත්දැකීමක් සනිටුහන් කිරීමට විනා කිසිවකු අපහසුතාවට පත්කිරීමේ චේතනාවෙන් නම් නොවේ.

ප්‍රේමලාල් විජේරත්න










