මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සොහොයුරා වූ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් පසුගිය සතියේදී අපවත් වූහ. ඒ අම්පාරේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරමින් හිඳින අතරවාරයේදීය.
රටේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු ස්වාමීන් වහන්සේ නමක් ලෙස අපවත් වීම අපේ රටේදී ඇසුණු විරල පුවතකි. අපේ රටේ බොහෝ ඇමැතිවරුන්ගේ සොහොයුරන් බලවත් ව්‍යාපාරිකයන්ය. නැතිනම් විදේශ ගත වූවන්ය. සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඇමැති සොහොයුරෙකු පිළිබඳවද අපේ රටේ අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
එවැනි වටපිටාවක පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ අභාවය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. ඒ සඳහා හේතු වූයේ උන්වහන්සේගේ සොහොයුරා රජයේ අමාත්‍යවරයෙකු වීම පමණක්ම නොවීමද විශේෂත්වයකි.
කවුරුත් දන්නා පරිදි සරත් වීරසේකර මහතා යනු වසර ගණනාවක් ආරක්ෂක හමුදාව වෙනුවෙන් කැපවුණු නිලධාරියෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ අවසන් සටනේ ඉදිරි පෙළ නියමුවෙකි. සරත් වීරසේකර මහතාගේ සොහොයුරා වූ අපවත් වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ද ගිහි ජීවිතය ගත කර ඇත්තේ යුද හමුදා නිලධාරියෙකු ලෙසිනි.
උන්වහන්සේගේ ගිහි නම සඳහන්ව ඇත්තේ ආනන්ද වීරසේකර ලෙසිනි. යුද හමුදාවෙන් විශ්‍රාම යන අවස්ථාව වන විට මේජර් ජෙනරල් ධුරයේ කටයුතු කරමින් සිට ඇති අතර මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර යනු ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් අති විශාල මෙහෙයක් සිදු කළ නිලධාරියෙකි.
ආනන්ද වීරසේකර මහතා උපත ලබා ඇත්තේ 1943 වසරේ අප්‍රේල් 29 වැනිදාය. කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා පාසල් කාලය තුළ වඩාත් දක්ෂතා දක්වා ඇත්තේ පාපන්දු ක්‍රීඩාව සඳහාය. නාලන්ද කණ්ඩායමේ දැල් රකින්නා සහ කණ්ඩායම් නායකයා ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වූ ආනන්ද වීරසේකර මහතාට පසුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිල නියෝජනය කිරීමේ වරමද හිමි විය. පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වීමට වීරසේකර මහතා තීරණය කර ඇති අතර කැඩෙට් නිලධාරියෙකු ලෙස පාසල් කාලයේදී කටයුතු කිරීමද ඒ සඳහා හේතු වන්නට ඇත.
හමුදා නිලධාරියෙකු ලෙස ඔහු වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රාජකාරි කළ කාලයේදීය. ඒ කාලය අතරතුරදී එක් අවස්ථාවක දින ගණනාවක් අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගැනීම සඳහා නිදිවර්ජිතව කටයුතු කිරීම ඒ මහතාගේ රාජකාරි කාලය තුළ සිදුවූ වැදගත් සිදුවීමකි. ඒ මහතා ඒ ආකාරයෙන් නිදිවර්ජිතව කල් ගත කර ඇත්තේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවන බවට වාර්තා වූ තොරතුරු හේතුවෙනි. එම කැපවීම හේතුවෙන් එම ධුරයේ කටයුතු කරන තෙක්ම ත්‍රස්ත ප්‍රහාරයකින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට ඒ මහතාට හැකි විය.
ආනන්ද වීරසේකර යන නම රටේ බොහෝ දෙනකු කතා බහ කරන්නට වූයේ 88/89 කාලයේ මෙරට සිදු වූ තරුණ අරගලය සම්බන්ධයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ එම දෙවැනි නැඟිටීම පාලනය කළ ප්‍රබල චරිතයක් ලෙස ආනන්ද වීරසේකර මහතා සැලකේ. ඒ වන විට වීරසේකර මහතා යුද හමුදාවේ කර්නල්වරයෙකි. එවකට ජනාධිපතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ආනන්ද වීරසේකර මහතාව පත්කරනු ලැබුවේ ඔහු සතු දක්ෂතාව මැනවින් තේරුම් ගත් බැවිනි. ජනාධිපතිවරයා භාර දුන් කර්තව්‍ය ඒ ආකාරයෙන්ම ඉටු කරමින් එම අරගලය මැඩපැවැත්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ආනන්ද වීරසේකර මහතාට හැකියාව ලැබිණි.
ඉන් අනතුරුව වීරසේකර මහතාට හිමි වුණේ තවත් සුවිශේෂී තනතුරකි. ඒ අත්අඩංගුවට ගන්නා ලද තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු භාර කොමසාරිස්වරයා වශයෙන් ආනන්ද වීරසේකර මහතාව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමඟිනි.
එහිදී මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් වීරසේකර මහතා සඳහන් කළේ “මේ දරුවන්ට වැරැදි කළේ වැඩිහිටියන් වූ අපි” යනුවෙනි. එබැවින් තම දරුවන් අරගලයට සම්බන්ධ වූයේ නම් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව වෙත භාර දෙන් මෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටීමද වීරසේකර මහතා කටයුතු කළේය. එමෙන්ම එලෙස භාරවන සියලුම දරුවන්ගේ වගකීම තමන් පියෙකු මෙන් භාර ගන්නා බවටද වීරසේකර මහතා ප්‍රතිඥා දුන්නේය. ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වූ තරුණ තරුණියන් රාශියක් පුනරුත්ථාපනය සඳහා එකතු වීමට ආනන්ද වීරසේකර මහතාගේ ක්‍රියා කලාපය හේතු වූ බවද බොහෝ දෙනාගේ අදහසය.
එම තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොල්ගොල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුනරුත්ථාපන කඳවුරු ක්‍රියාත්මක වූ අතර ඒ සෑම කඳවුරක් පිළිබඳවම පෞද්ගලිකව සොයා බැලීමටද වීරසේකර මහතා කටයුතු කළේය. ත්‍රස්තවාදයට නැඹුරු වූ තරුණයන් සාමාන්‍ය ජන ජීවිතයට හුරු කරවීම එම කඳවුරුවල ප්‍රධාන අරමුණ විය. උසස් අධ්‍යාපනය හදාරා තිබූ තරුණයන් සඳහා රජයේ රැකියා ලබා දීම සිදු වූ අතර අනෙක් තරුණයන් ස්වයං රැකියා සඳහා යොමු කරවීමද එහිදී සිදු විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වීරසේකර මහතාව බොහෝ සේ අගය කළ බවද ප්‍රසිද්ධ කාරණයකි.
ආනන්ද වීරසේකර මහතා යනු කුඩා කල සිටම ආගමට දහමට ඉතා ළැදි අයෙකි. පරිවාස කඳවුරු තුළ ශීල වැඩසටහන් පවත්වා තරුණයන් යහමඟට ගැනීමට වීරසේකර මහතා කටයුතු කළේ එම නැඹුරුව හේතුවෙනි. එම ශීල ව්‍යාපාර පිළිබඳ ඒ දිනවල මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය ලබා දෙනු ලැබිණි. ඉතා දරදඬු හමුදා නිලධාරියෙකු ලෙස හැඳින්වුණු වීරසේකර මහතාගේ එම ක්‍රියා කලාපය දුටු බොහෝ දෙනකු පුදුමයට පත්වන ආකාරයද දැක ගත හැකි විය. ඒ ආකාරයෙන් යුද හමුදාව තුළ කැපී පෙනෙන රාජකාරි සමයක් නිම කළ ආනන්ද වීරසේකර මහතා මේජර් ජෙනරාල්වරයෙකු වශයෙන් යුද හමුදාවෙන් විශ්‍රාම ගියේ 1997 වසරේදීය.
කෙසේ නමුත් එම සමයේ සිදු කළ ක්‍රියා සම්බන්ධයෙන් ආනන්ද වීරසේකර මහතාට සිරබත් කෑමට සිදුවීමද විශේෂත්වයකි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් 88/89 අරගලය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ තිස්ස බණ්ඩාරනායක කමිටු වාර්තාව මඟින් එල්ල වූ චෝදනා හේතුවෙනි. 2000 වසරේදී බන්ධනාගාර ගත කළ වීරසේකර මහතාට එරෙහිව අධිකරණ කටයුතුද ක්‍රියාත්මක වූ නමුත් පසුව ඒ මහතා නිදොස් කොට නිදහස් කරනු ලැබිණි.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ 88/89 ගැන කතා කිරීමට අවශ්‍ය නම් තමන්ට ආනන්ද වීරසේකර ගැනද කතා කළ හැකි බවය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ තම කතාවට සරත් වීරසේකර මහතා සිදු කළ බාධාවකට ප්‍රතිචාර දක්වමිනි.
කුඩා කල සිට පැවත ආ ආගම පිළිබඳ කැමැත්ත වෙත නැඹුරු වෙමින් ජීවිතයේ ඉතිරි කාලය සසුන් ගතව ගත කිරීමට වීරසේකර මහතා තීරණය කළේ 2007 වසරේදීය.
ඒ බුද්ධංගල ආනන්ද හිමියන් ලෙසට පැවිදි දිවියට ඇතුළත් වෙමිනි. ඒ දිනවල ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආනන්ද වීරසේකර මහතාගේ පාසල් සමකාලීනයෙකු වූ ප්‍රවීණ ක්‍රීඩා විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා සඳහන් කර තිබුණේ දුටුගැමුණු යුගයේ ථේරපුත්තාභය යෝධයාගෙන් පසු පැවිදි දිවියට ඇතුළත් වූ පළමු රණකාමියා බුද්ධංගල ආනන්ද හිමිපාණන් වන බවය.
පැවිදි දිවියේ කටයුතු කරමින් සිටි කාලයේදීද යුද හමුදාව සමඟ වූ සහයෝගීතාව දිගටම පවත්වා ගෙන යාමට ආනන්ද හිමියෝ කටයුතු කළහ. අවස්ථා කිහිපයකදී යාපනයට වැඩම කළ උන්වහන්සේ යුද හමුදා නිලධාරීන් සඳහා දේශනා පැවැත්වීමටද කටයුතු කළ අතර එක් අවස්ථාවක යාපනයේදී මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා මුණගැසීමටද කටයුතු කළහ.
ඒ අතර උන්වහන්සේ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කිරීම පිළිබඳව දෙමළ අන්තවාදීන් යම් යම් චෝදනා එල්ල කරන ආකාරයද දැක ගත හැකි විය.
කෙසේ නමුත් ඒ සියලු චෝදනා විඳ දරා ගනිමින් තම පැවිදි දිවිය නියමාකාරයෙන් ගත කිරීමට බුද්ධංගල ආනන්ද හිමියන්ට හැකියාව ලැබිණි.
රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින් ජීවිතයේ සැඳෑ සමයේ නිසි වටිනාකම සොයා ගිය පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ අවසන් සුසුම් පොද වාතලයට එකතු වූයේ ලොවේ අනිත්‍ය සැමට පහදා දෙමිනි. උන්වහන්සේගේ අවසන් කටයුතු 31 වැනිදා බුද්ධංගලදී සිදු කිරීමට නියමිතව තිබිණි.
චන්දන පොන්නම්පෙරුම










