1956 මහ මැතිවරණයත්, 2024 මහ මැතිවරණයත් අතර සමානකමක් තිබේ. 1947 සිට රට පාලනය කළ යූ.ඇන්.පී. ආණ්ඩුව හෝදාගෙන ගියේ 1956 මහ මැතිවරණයෙන්ය. යූ.ඇන්.පී.යට විපක්ෂ නායකකමත් නැති විය. ලංකාවේ ඉතිහාසයේ පළමු වරට අලුත් පක්ෂයක් බලයට පත්විය. අලුත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ පිලිප් ගුණවර්ධන කීවේ යූ.ඇන්.පී. මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැහුවා කියාය. මෙදා 2024 ජවිපෙ දින්නේත් ලංකාවේ සාම්ප්‍රදායික පක්ෂ හෝදාපාළුවට ලක්කරවමිනි. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව හැදුවේ අලුත්ම අලුත් මන්ත්‍රී කණ්ඩායමක් එක්කය. 2024 අනුර ආණ්ඩුව හැදුවේත් අලුත්ම අලුත් මන්ත්‍රී කණ්ඩායමක් එක්කය.Sri Lanka Latest News
2024 මහ මැතිවරණයට පසු හැමෝම හිතුවේ ලංකාවේ සාම්ප්‍රදායික පක්ෂ සහ සාම්ප්‍රදායික දේශපාලනය ඉවරයටම ඉවරයි කියාය. 1956 මහ මැතිවරණයට පසු හැමෝම හිතුවේත් එහෙමය. එහෙත් 1956 දෙසැම්බරයේ පැවැති පුංචි ඡන්දයෙන් සියල්ල වෙනස් විය. මේ වෙනකොට යූ.ඇන්.පී.යට නායකයෙක් හිටියේත් නැත. යූ.ඇන්.පී.යේ හිටපු නායක ඩඩ්ලි දේශපාලනයෙන් ඉවත් වී සිටියේය. යූ.ඇන්.පී. නායක සර් ජෝන් දේශපාලනයෙන් ඉවත්වී ලන්ඩනයේ පදිංචියට යන්න සැලසුම් කරමින් සිටියේය. 1956 පළාත් පාලන ඡන්දය ආවේ යූ.ඇන්.පී.ය හතර ගාතේ වැටී සිටියදීය. ඒ වෙලාවේ යූ.ඇන්.පී.යට හුස්ම පිම්බේ ජේ.ආර්.ය. ජේ.ආර්. සමග කොළඹ යූ.ඇන්.පී. සටනේ පතාක යෝධයකු වූයේ හිටපු උපනගරාධිපති රණසිංහ ප්‍රේමදාසය. බණ්ඩාරනායකත්, මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවත්, ජනතාවත් පුදුමයට පත්කරමින් කොළඹ නගර සභාව යූ.ඇන්.පී.ය දින්නේය. ජේ.ආර්. සිය පොතෙහි ඒ ජයග්‍රහණය හඳුන්වන්නේ ෆීනික්ස් පක්ෂියා අළු මතින් නැගිට්ටා වාගේ කියාය. ලංකාවේ පුංචි ඡන්ද ඉතිහාසයේ රට හොල්ලපු පුංචි ඡන්දයක් නම් 1956 පළාත් පාලන ඡන්දයය. බණ්ඩාරනායකගේ ආණ්ඩුවටත්, විපක්ෂ නායක ධුරය ගත් සාම්ප්‍රදායික වමටත් අභියෝග කරමින් යූ.ඇන්.පී.ය යළි නැගිට්ටේ 1956 පුංචි ඡන්දයෙන් කොළඹ නගර සභාව දිනමින්ය.
ඊළඟට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම පෙරළිය කළ පුංචි ඡන්දය 1991 පුංචි ඡන්දයය. 1991 පුංචි ඡන්දය පැවැතියේ ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ මර්දනය කොට ආණ්ඩුවේ හයිය පෙන්වන වෙලාවකය. ජවිපෙ මර්දනය කොට, යවනවා තියා හිතන්නවත් බැහැ කී ඉන්දීය හමුදාව යවා ප්‍රේමදාස ආණ්ඩුව විපක්ෂය නිරුත්තර කර තිබිණි. එහෙත් පුංචි ඡන්දයෙන් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් මෝරාගෙන එනවා කවුරුවත් දුටුවේ නැත. මේ වෙනකොට යූ.ඇන්.පී. මහලේකම් රන්ජන් විජේරත්න ඝාතනය වී මහලේකම් ධුරයට පත්වූයේ ප්‍රේමදාසගේ සමීපතම ගෝලයා වූ සිරිසේන කුරේය. කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරයට නම් තුනක් යෝජනා වී තිබිණි. පළමු නම එම්.එච්. මොහොමඩ්ගේ පුත් හුසේන් මොහොමඩ්ය. දෙවැන්නා ගනේෂලිංගම්ය. තුන්වැන්නා ප්‍රේමදාසගේ තවත් ගෝලයකු වූ රත්නසිරි රාජපක්ෂය. එවක ප්‍රබල ඇමැතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි සහාය දුන්නේ හුසේන් මොහොමඩ්ටය. ඔහු හිටපු නගරාධිපතිවරයකු වූ අතර, කතානායක එම්.එච්. මොහොමඩ්ගේ පුතා විය. ප්‍රේමදාසගේ තේරීම වූයේ රත්නසිරි රාපජක්ෂය. සිරිසේන කුරේට, රත්නසිරි එක්ක ප්‍රශ්න තිබුණත් ඔහු ප්‍රේමදාසගේ තේරීමට විරුද්ධ වූයේ නැත. රත්නසිරි නගරාධිපති විය. හුසේන් මොහොමඩ්, පියා වූ එම්.එච්. මොහොමඩ්ට දුක කීවේය. ලලිත්ද මොහොමඩ්ට උල්පන්දම් දුන්නේය. ප්‍රතිඵලය 1991 සැප්තැම්බර් ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමය. එම දෝෂාභියෝගයෙන් යූ.ඇන්.පී.ය දෙකඩ විය. වසර 17කට පසු යූ.ඇන්.පී.ය පරාජයට පත්විය. පරාජයට මූල බීජය වැපිරුවේ 1991 පුංචි ඡන්දයේදී හුසේන් මොහොමඩ් නගරාධිපති නොකිරීම නිසාය. 1991 පුංචි ඡන්දය වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව ඉවර කළේ එලෙසය. 1991 පුංචි ඡන්දයෙන් යූ.ඇන්.පී.ය රටම දින්නේය. ශ්‍රීලනිපය කඩාගෙන ගිය චන්ද්‍රිකාත් වෙනම සන්ධාන ගහපු වාමාංශික පක්ෂත් යළි ශ්‍රීලනිපය සමග සන්ධානගත වී තරග කරපු පළමු ඡන්දය ඒ පුංචි ඡන්දය විය. ඒත් ශ්‍රීලනිපය අන්ත පරාජයකට ලක්විය. ප්‍රේමදාස ආණ්ඩුව වට්ටවන්න ශක්‍රයාටවත් බැහැ කියා විපක්ෂය පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් හිත හදාගත්හ. ඒත් ප්‍රේමදාස ආණ්ඩුව ඉවර කරන ගේම පටන්ගත්තේ ප්‍රේමදාස ආණ්ඩුවේ ඒ පුංචි ඡන්ද ජයග්‍රහණයෙන් බව ඔවුන්ට වැටහුණේ නැත. ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිටුපස පරාජයේ සෙවණැල්ල වැටී ඇති බව විපක්ෂයටත් තේරුම් ගියේ නැත.
ඉන් පසු මුළු ලංකාවම මවිතයට පත්කළ රට පෙරළපු පුංචි ඡන්දය වූයේ 2018 පුංචි ඡන්දයය. 2018 පුංචි ඡන්දය එන විට ශ්‍රීලනිපය දෙකඩ වී රාජපක්ෂවරු පොදුජන පෙරමුණ නමින් අලුත් පක්ෂයක් පිහිටුවා තිබිණි. හැමෝම හිතුවේ ශ්‍රීලනිප ඡන්ද දෙකට බෙදී යූ.ඇන්.පී.ය පුංචි ඡන්දය ජයග්‍රහණය කරනු ඇතැයි කියාය. ශ්‍රීලනිපය දෙවැනි තැනට ඇවිත් පොදුජන පෙරමුණ තුන්වැනි බලවේගය වනු ඇතැයි අනාවැකි පළවිය. ඒත් ප්‍රතිඵලයෙන් රටම අන්දමන්ද විය. අලුතෙන් හදපු පොදුජන පෙරමුණ පුංචි ඡන්දයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය. ලංකාවේ පුංචි ඡන්ද ඉතිහාසයේ කවදාවත් පුංචි ඡන්දයකින් ආණ්ඩුවක් පරාජය වී නැත. පුංචි ඡන්දවල න්‍යාය වූයේ ආණ්ඩුවෙන් වැඩ කරගන්න පළාත් පාලන ආයතනත් ආණ්ඩුවටම දිය යුතුය යන්නය. ඒත් පළමු වරට මිනිස්සු පුංචි ඡන්දය ආණ්ඩුවෙන් වැඩ කරගන්න නොව ආණ්ඩු විරෝධය පෙන්වන්න පාවිච්චි කළේය. පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල්ගේ ශ්‍රීලනිපය සහ යූ.ඇන්.පී.ය නන්නත්තාර විය. ගෝඨා ජනාධිපතිකමට යන්න පාර කපාගත්තේ ඒ පුංචි ඡන්දයෙන්ය.
2018 පැවැති පුංචි ඡන්දය පවත්වන්න තිබුණේ 2015දීය. 2015දී පුංචි ඡන්ද ඡන්දය තිබ්බා නම් දිනන්නේ යූ.ඇන්.පී.යය. එදා 2015 පුංචි ඡන්දය නොතියන්න මෛත්‍රීපාලට උපදෙස් දුන්නේ රනිල් විරෝධීන්ය. ඒ වෙලාවේ පුංචි ඡන්දය තිබ්බා නම් ශ්‍රීලනිපය පරාජයට පත් වුවත් රාජපක්ෂලාගේ දේශපාලනය අවසන් වීමට ඉඩ තිබිණි. එය වළක්වා රනිල්ගේ දේශපාලනය ඉවර කරන්න මෛත්‍රීට උපදෙස් දුන් රනිල් විරෝධීහු පසුව රනිල්ට එක්වී පළාත් පාලන ඡන්දය නොතියන්න රනිල්ට උපදෙස් දුන්හ.
පළාත් පාලන ඡන්දය හැකි ඉක්මනින් තියන්න ජවිපෙ ගත් තීන්දුව නිවැරැදි දේශපාලන තීන්දුවකි. 2019 ජනාධිපති වූ ගෝඨාභය නිසි කලට පළාත් පාලන ඡන්දය පැවැත්වූවා නම් අරගලයක් එන්නේ නැත. මන්ද ඒ වෙලාවේ පළාත් පාලන ඡන්දය තිබ්බා නම් පොදුජන පෙරමුණ ඒ ඡන්දය ජයග්‍රහණය කිරීමට නියමිතව තිබිණි. ඒ වෙලාවේ රාජපක්ෂ පවුල පුංචි ඡන්දයෙන් විපක්ෂ නායක සජිත් යූ.ඇන්.පී.යත් රනිල්වත් විනාශ කොට ශක්තිමත් වේ යැයි බියෙන් පුංචි ඡන්දය තිබ්බේ නැත. එයින් ආර්ථික අර්බුදය ආ වෙලාවේ ගෝඨාගේ ආණ්ඩුව දේශපාලන වශයෙන් දුර්වල වී තිබිණි. අර්බුදය එන විට එයට මුහුණ දෙන්න නම් අර්බුදය එන්න කලින් දේශපාලන වශයෙන් ශක්තිමත් වී විපක්ෂය දුර්වල කරන්න අතරමැද ඡන්ද තියන්න ඕනාය. ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද හැමෝම මේ උපක්‍රමය අනුගමනය කළහ. අරගලයට කලින් 2022 මුල පුංචි ඡන්දය තිබ්බා නම් ජවිපෙ කෑලිවත් හොයන්න බැරිවෙන්න තිබිණි.
රනිල් 2023 පුංචි ඡන්දය තිබ්බා නම් ජවිපෙ යම් කිසි පළාත් පාලන ආයතන ප්‍රමාණයක් දින්නත් ජවිපෙට සමගි ජන බලවේගය පරද්දන බැරිවනු ඇත. රනිල් වටේ ඉන්නා උපදේශකයෝ එය දැන පුංචි ඡන්දය කල්දමන්න රනිල්ට උපදෙස් දුන්හ. ඒකේ වාසිය ගත්තේ ජවිපෙය.
එහෙම බලනකොට පුංචි ඡන්දය හැකි ඉක්මනින් පවත්වන්න ජවිපෙ ගත්ත තීරණය නිවැරැදි යැයි කීවේ එහෙයිනි. හැබැයි මේ පුංචි ඡන්දයත් 1956, 1991 සහ 2018 මෙන් රට පෙරළන ඡන්දයක් වේදැයි කියා තවම කිව නොහැකිය.
පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් කාටවත් පුංචි ආණ්ඩු පිහිටුවන්න බහුතර බලයක් හිමි නොවුණහොත්, මේ පුංචි ඡන්දය ඊළඟ රට පෙරළන ඡන්දය වීමේ ඉඩකඩ වැඩිය.










