ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 1.9ක ණය මුදලෙහි දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්ව නොමැත. මූල්‍ය අරමුදල ඊට හේතු දක්වමින් කියා තිබුණේ ආණ්ඩුව නිසි පිරිදි කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් දෙවැනි ණය වාරිකය පමා කිරීමට කටයුතු කරන බවකි. ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම මෙම තීරය ඔස්සේ අප අවස්ථා ගණනාවකදීම තොරතුරු වාර්තා කිරීමට පියවර ගත්තෙමු.Sri Lanka Latest News
කෙසේ වෙතත් මෙවර අප අනාවරණ කරන්නේ මූල්‍ය අරමුදලේ ලොකුම කොන්දේසිය වන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල්කරගෙන මේ වන විට මතුව ඇති අලුත්ම අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය. ඉකුත් වතාවකදී අප මේ තීරය ඔස්සේ වාර්තා කර සිටියේ පැරිස් සමාජය මෙන්ම ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය වැනි ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලංකා ආණ්ඩුව චීන එක්සිම් බැංකුව සමග ඇතිකරගත් ගිවිසුම අනාවරණ කළ යුතු බවටය. නමුත් තවමත් ආණ්ඩුව එම ගිවිසුම හෙළිකිරීමට කටයුතු කොට නොමැත්තේ අදාළ ගිවිසුමේ ඇති එක්තරා විශේෂ වගන්තියක් මුල්කරගෙනය. එම වගන්තියෙන් කියවී තිබුණේ කිසිදු පාර්ශ්වයකට අදාළ ගිවිසුමේ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවකි. ඒ අනුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වන විට ඇත්තේ මහත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීය.
මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුකරණය මුල්කරගෙන විශේෂ වාර්තාවක් පසුගිය කාලයේ ආණ්ඩුව වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. එම වාර්තාව හරහා විශේෂ යෝජනා 3ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට තිබූ අතර, වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද එම වාර්තාවෙන් දක්වා තිබිණි.
ඉන් පළමුවැනි යෝජනාව වී තිබුණේ ජනාධිපති, මැති ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවේ නිලධාරීන්ද වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතු බවය. දෙවැනි යෝජනාව වී තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් ආයතනයක් බවට පත්කිරීමය. මේ යෝජනා දෙකම ඉටුකළ හැකි මට්ටමේ යෝජනා වුවත් තුන්වැනි යෝජනාව තරමක් බරපතළ එකක් වී තිබිණි. එම තුන්වැනි යෝජනාවෙන් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඉහළ නිලධාරීන් පත්කිරීම එම ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු කරන බැවින් එම පත්කිරීම් නැවත සමාලෝචනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවත්ය.
මූල්‍ය අරමුදල මෙම යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් කතා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කොට තිබුණේ මෙම යෝජනා ඉටුකළහොත් පමණක් දැනට අස්සන් කොට ඇති දෙවැනි වාරිකය ලබාදීමේ කාර්ය මණ්ඩල ගිවිසුම විධායක සභාවට ඉදිරිපත් කොට සම්මත කළ හැකි බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් දැනට කොළ එළියක් පත්තු වී ඇත්තේ තුන්වැනි යෝජනාව වූ ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් තවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමේ යෝජනාවට පමණි. අනෙක් යෝජනා දෙකටම තවමත් ආණ්ඩුව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය ලබාදීමේ කටයුතුද මේ වන විට ඇත්තේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකය. නියමිත කාල රාමුව අනුව කටයුතු කළේ නම් මේ වන විට ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලෙන් තුන්වැනි වාරිකයද ලබාගැනීමේ වටපිටාවකය. නමුත් කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් සහ තවත් අලුත් කොන්දේසි ඉදිරිපත් වීම හේතුවෙන් මේ වන විට ආණ්ඩුව පත්ව ඇත්තේ මූල්‍ය අරමුදලෙන් දෙවැනි වාරිකයද නොලැබෙන වටපිටාවකය.