මේ ගෙවී යන්නේ 2024 අවුරුද්දේ අවසාන සති කිහිපය. එළඹෙන 2025 මාර්තු 29 වැනිදා සෙනසුරු මාරුවක් සිදුවන බවත් ජ්‍යොතිෂයට අනුව කියැවෙනවා. ඉතින් අපි කවුරුත් බලාගෙන ඉන්නේ නව වසරේදී සිදුවෙන මේ සෙනසුරු මාරුවත් සමග අපේ ජීවිත වාසනාවන්ත කරන වෙනසක් සිදුවේවිද කියලා. ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ආචාර්ය කේමන් කුලසිරි මහතා සිය යූටියුබ් නාලිකාවට පසුගියදා ඉදිරිපත් කළ 2025 නව අවුරුදු ලග්න පලාපල විස්තරය තුළ අපි හැම කෙනකුගේම ලග්නවලට ලැබෙන සුබ අසුබ ඵලයන් ගැන වටිනා විස්තරයක් ඇතුළත් වෙනවා. ඉතින් එම පලාපල විස්තරය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. (Sri Lanka Latest News)
මේෂ ලග්නය
ඔබගේ ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. නව වසර ආරම්භයේදී කුජ ග්‍රහයා ඉතා බලසම්පන්නයි. ඒකට හේතුව කුජ ගහයා රවී සමග එකතු වීමයි. ඒ අනුව රවි සහ කුජ මිත්‍රව තමයි නව වසර ආරම්භ වෙන්නේ. ඒ නිසා මේ වසර මේෂ ලග්න හිමි ඔබට සතුටුදායක කාලයක් බවට පත්වෙනවා. සෙනසුරු ඉන්නේ 11 වැනි රාශියේ ස්වක්ෂේත්‍රව. චන්ද්‍රයා 5 වැන්නේ සිටිනවා. ගුරු ග්‍රහයා ලග්නගතව සිටිනවා. චන්ද්‍රයා මිත්‍රව සිටිනවා, කේතු ග්‍රහයා සහ රාහු ග්‍රහයා ටිකක් දුර්වලව සිටිනවා. ඒක එතරම්ම සුබ දෙයක් නෙවෙයි. නමුත් බුධ සහ සිකුරු ග්‍රහයන් දෙදෙනාගේ බලය සමව ලැබෙනවා. ඒකත් හොඳ පිහිටීමක් කියන්න පුළුවන්.
මේෂ ලග්න හිමි ඔබගේ ආර්ථිකය ගැන සඳහන් කරද්දී ඉතා සතුටුදායක ආදායම් මාර්ග මේ වසරේදී උදාවන බව කියන්න පුළුවන්. ධනස්ථානාධිපති සිකුරුත් ඉතාම බලසම්පන්නව සිටිනවා. ඒ නිසා බිරිඳගේ හෝ ස්වාමියාගේ පාර්ශ්වයෙන් යම් යම් ආදායම් උත්පාදනය වන බවත් කිව යුතුයි. නමුත් මේ වසරේදී ඔබේ වියදම් පක්ෂය ඉහළ යෑමක් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන්, කල්පනාවෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ගොවිතැන්, වගා කටයුතු සිදුකරන අයටත් බොහොම හොඳ කාලයක්. ආදායම් මාර්ග වැඩිවෙනවා, සශ්‍රීකත්වය ඇතිවෙනවා.
මේෂ ලග්න හිමි ඔබට 2025 මාර්තු 29 වැනිදා ලග්න ඒරාෂ්ටකය ලබනවා. එය අවුරුදු හතහමාරක් පවතිනවා. ඒ නිසා ඔබගේ හඳහන පරීක්ෂා කරගෙන, අවශ්‍ය පිළියම් සිදුකිරීම මගින් අපල දුරුකර ගැනීමට හැකියාව උදාවෙනවා.
ඔබගේ ගෘහ ජීවතය සම්බන්ධයෙන් කතා කරද්දී මිශ්‍ර ඵල උදාකරන කාලයක් මේ වසර මුලදී ගතකරන්න ලැබේවි. දරුවන්ගේ යම් ගැටලු පවතිනවා නම් ඒවා නිරාකරණය කරගැනීමේ හැකියාවත් ලැබෙනවා. නමුත් ඒරාෂ්ටක අපලය බලපාන මේෂ ලග්න හිමි අයට අසනීප තත්ත්වයන්, ඥාතීන්ගේ අභාවයන්, යම් යම් කරදර බාධක ඇතිවෙන්නත් පුළුවන්.
ජනවාරි 15 වැනිදායින් පසුව රැකියාවේ සුබ කාලයක් උදාවෙනවා. වසරේ මුල් කාලයේදී නව රැකියා අවස්ථා, ඉහළ තනතුරු ලැබීමේ වාසනාවත් පවතිනවා. ඒ වගේම විදෙස්ගත වෙන්න බලාගෙන හිටපු අයගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වීමකුත් පෙන්නුම් කරනවා.
අධ්‍යාපනය ලබන අයට වසර ආරම්භයේදී තරමක බාධා ඇතිකරනවා. නමුත් පෙබරවාරි මාසයෙන් පසුව ඒ බාධා දුරුවෙලා විභාග ජයග්‍රහණ ආදිය ලබාගැනීමටත් මග පෑදෙනවා.
යම් යම් රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානමකුත් පෙන්වන නිසා මේෂ ලග්න හිමි ඔබ ඒ ගැනත් කල්පනාකාරීව කටයුතු කරන්න කියලා සිහිපත් කරනවා. විශේෂයෙන්ම දාන සීල භාවනා ආදී යහපත් කටයුතුවල නිරතවීම මගින් ඒ අපලයන් දුර්වල කරගැනීමට පුළුවන් බව මතක් කරනවා.
වෘෂභ ලග්නය
ලග්නාධිපති සිකුරු සමග බුධ ග්‍රහයා 7 වැන්නෙන් තමයි වසර ආරම්භ වෙන්නේ. විවාහ අපේක්ෂිත අයට බොහොම හොඳ කාලයක් තමයි උදාවෙන්නේ. සෙනසුරු ග්‍රහයා මීන රාශියට එනවා. මීන රාශිය කියන්නේ 11 වැනි කොටුවට. ඉතින් සෙනසුරු මීන රාශියට එනවා කියන්නේ ඔබේ පින උදාවෙනවා කියන එකයි. ඒ නිසා ඔබට ඉතා සුබ කාලයක් තමයි මේ වසර. ගුරු ග්‍රහයා 12 වැන්නේ ගමන් කරන නිසා වසරේ මුල් මාස දෙක තුළ යම් දුර්වලතා ඇතිවෙනවා. නමුත් සමස්තයක් විදියට ගත්තාම ඔබට මේ වසර යහපත් බව කියන්න පුළුවන්.
ඔබේ ආර්ථික තත්ත්වය ගැන කතා කරද්දී ගුරු 12 වැන්නේ ගමන් කරන නිසා ආදායම් මාර්ගවලට යම් යම් අවහිරතා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ගොවිතැන් කටයුතු කරන අයට වසර මුල බාධා සහිත වුණාට ජුනි මාසයෙන් පසුව වසර අවසාන කාලය දක්වාම ඔවුන්ගේ ආදායම් වැඩිවෙන බව කියන්න පුළුවන්. මේතාක් ආර්ථික දුෂ්කරතා, ව්‍යාපාර කඩාවැටීම්වලට මුහුණ දීපු වෘෂභ ලග්න හිමියන්ට ලබන මාර්තු 29 වැනිදායින් පසුව සුබ කාලයක් උදාවෙනවා. මැයි මාසයෙන් පසු ඉදිරි කාලය ඉතාම වාසනාවන්ත වෙන බවත් සතුටින් කියන්න කැමැතියි.
ගෘහ ජීවිතය ගැන කතාකරනවා නම්, අඹුසැමි දෙදෙනා දෙපැත්තට අදින ස්වභාවයක් පෙන්නුම් කරනවා. පවුලේ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මවට සහ පියාට අපල කාලයක් ඇතිවෙන නිසා ඒ වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවිය හැකියි. ඒ වගේම විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට යම් යම් බාධා ඇතිවෙන්නත් පුළුවන්. නමුත් මැයි මාසයෙන් පසුව පවුලේ සමගිය සහ සතුට උදාවෙන බවත් කිව යුතුයි.
රැකියාවේ නිරතව සිටිද්දී ඊට අදාළව යම් යම් වැරැදි ක්‍රියා කරපු අයට මේ වසර සුබදායක නැහැ. ඒ වගේ අය ප්‍රවේසම් විය යුතුයි. නීතිමය ප්‍රශ්නවලට මැදිහත් වෙන්න, සිරගත වෙන්න පවා සිදුවිය හැකියි. මාර්තු මාසයේ මැද රැකියාවේ විශේෂ දියුණුවක් වගේම අප්‍රේල් ආරම්භයේ සිට උසස්වීම් ලැබීමත් පෙන්නුම් කරනවා. ඒ වගේම මාර්තුවලින් පසුව ස්වයංරැකියා සඳහා ඉතා හොඳ කාලයක් උදාවෙනවා.
සෙනසුරු රාහු දසාවේ ගතකරන අයට නම් අධ්‍යාපන කටයුතුවලදී බාධා ඇතිවෙනවා. විභාග ආදියේදී බලාපොරොත්තු වූ ජයග්‍රහණ නොලැබී යෑමකුත් පෙන්නුම් කරනවා.
උෂ්ණාධික බව නිසා යම් යම් රෝගාබාධ වගේම අධිරුධිර පීඩනය ඇතිවීමේ තත්ත්වයක් වසර මුල් භාගයේදී තිබෙනවා. හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග තිබෙන අයත් විශේෂයෙන්ම සැලකිලිමත් වියයුතු කාලයක් තමයි 2025 මාර්තු 29 වැනිදායින් පසුව උදාවෙන්නේ. ඒ නිසා යහපත් දේ නිතර සිදුකරමින්, ප්‍රඥාවන්තව කටයුතු කරමින් ඒ අපල දුරුකර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මිථුන ලග්නය
චන්ද්‍රයා 3 වැන්නේ සිට ආරම්භ වෙලා, කේතු 4 වැන්නට යොමුවෙලා, රවි කුජ 7 වැන්නට ඇවිත් බලවත් වෙලා, සෙනසුරු 9 වැන්නේ බලවත් වෙලා, රාහු 10 වැන්නටත්, ගුරු 11 වැන්නටත් යොමුවෙලා 2025 වසර ආරම්භ වෙනවා. මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ වක්‍රව සිකුරු සමග 6 වැන්නේ ගමන් කිරීම සහ රාහු සමග 9 වැන්නේ ගමන් කිරීම නිසා ඔබේ පෙර කුසල් මතුවීමට හේතු වෙනවා. ඔබට තිබුණු ඒරාෂ්ටක අපල, කරදර බාධක සියල්ලම මේ වෙද්දී අවසන් වෙලා තිබෙන්නේ. නමුත් ඔබගේ හඳහනේ චන්ද්‍රයා 9 හෝ 10 වැනි කොටුවේ ඉන්නවා නම් ඔබට ඒරාෂ්ටකයක් බලපානවා. ඒක ජන්ම ඒරාෂ්ටකය ලෙසත් හඳුන්වනවා. එවැනි ජන්ම ඒරාෂ්ටකයක් නොමැති මිථුන ලග්න හිමියන්ට 2025 වසර සමස්තයක් විදියට සුබදායක වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ලැබීමට නියමිතව තිබූ මුදල් ලැබීමක් පෙන්නුම් කරනවා. හිතාගත නොහැකි ඉලක්කයන් ජයගැනීමටත් මේ කාලයේදී හැකියාව ලැබෙනවා. හවුල් ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියන්ටත් ඉතා වාසනාවන්ත කාලයක් බව කිව යුතුයි.
පවුල් ජීවිතය පැත්තෙනුත් සුබදායක වසරක්. බිරිඳ හෝ සැමියා සමග සමගියෙන් කටයුතු කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම මෙතෙක් කල් අමනාපයෙන් සිටි අඹුසැමියන්ට මේ වසරේදී නැවත එකතු වීමටත් භාග්‍යය උදාවෙනවා. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ට මංගල යෝජනා ලැබෙන කාලයක් තමයි මේ 2025 වසර. මිථුන ලග්න හිමි අඹුසැමියන්ට වාසනාවන්ත, ලෝකයම ජයගත හැකි දරුවකු බලාපොරොත්තු වෙන්නත් මේ වසර ඉතාම සුදුසුයි. ඒ නිසා ඒ ගැනත් සිත යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා.
රැකියාවක් නොමැති අයට රැකියා ලැබෙන කාලයක් ලෙසත්, රැකියාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන අයට එම දියුණුවත් ලැබෙන කාලයක් ලෙසත් 2025 වසර හඳුන්වා දෙන්න පුළුවන්. විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් සිටි මිථුන ලග්න හිමියන්ට ඒ සඳහා හොඳම කාලයක් තමයි මේ උදාවෙන්නේ. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු කරන අයටත් ලාභ ලබන්න හැකියාව ඇති බව පෙනෙන්න තිබෙනවා. රැකියාවේ උසස්වීම් ලැබීමට අවස්ථාවත් තිබෙනවා. කුජ, බුධ, ගුරු දශා ගතකරන අයට වඩාත් යහපත් කාලයක් තමයි උදාවෙන්නේ.
ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට සාර්ථක ප්‍රතිඵල ලැබෙන, හොඳ ගුරුවරුන්ගේ ඇසුර ලැබෙන, විභාගවලින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි කාලයක් තමයි 2025දී ඔබට උදාවෙන්නේ. විදෙස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂාවෙන් සිටින අයටත් වසර අවසානයේදී ඒ සඳහා අවස්ථාව ලැබෙන්න ඉඩ තිබෙනවා.
2025 වසරේදී මිථුන ලග්න හිමි ඔබට කිසිදු බරපතළ රෝගාබාධ ඇතිවෙන බවක් පෙන්නුම් කරන්නේ නැහැ. යම් රෝගාබාධයක් තිබුණා නම් එයින් සුවය ලැබීමටත් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම 2025 මාර්තු 29 වැනිදායින් පසුව ඒ රෝගී තත්ත්වයන් ක්‍රමයෙන් සුව වීමේ භාග්‍යය ඔබට උදාවෙනවා. රෝගීන්ට උපස්ථාන කිරීමත්, බෙහෙත් ඖෂධ පූජා කිරීමත් හරහා ඔබට වැලඳී තිබෙන අසනීපවලින් සුවය ලැබීමේ අවස්ථාව උදාවෙනවා.
කටක ලග්නය
ඔබගේ සෙනසුරු ග්‍රහයා තවමත් 8 වැනි කොටුවේ ගමන් කරනවා. මාර්තු මාසේ 29 වැනිදා එය 9 වැනි කොටුවට ගමන් කරනවා. එතැනින් පසුව ඔබට සැනසීම උදාවෙනවා. හේතුව අවුරුදු දෙකහමාරක කාලයක් ඔබ අෂ්ටම ඒරාෂ්ටකයක් ගතකරපු නිසා. මාර්තු 29 වැනිදායින් පසුව ඒක ඉවරයි. හැබැයි ඔබේ කේන්ද්‍ර සටහනේ 8 වැනි කොටුවේ, 9 වැනි කොටුවේ හෝ 10 වැනි කොටුවේ චන්ද්‍රයා සිටිනවා නම් ඔබට ජන්ම ඒරාෂ්ටකයක් තිබෙනවා. එහෙම අයගේ අපල කාලය තවමත් අවසන් වෙලා නැහැ. සෙනසුරු ග්‍රහයා කටක, සිංහ හෝ වෘෂ්චික කියන කොටුවක සිටින අයට තමයි මේ අපලය වඩාත් නරක. එහෙම නැතුව සමස්ත කටක ලග්න හිමියන්ටම අපලයි කියලා නෙවෙයි මේ කියන්නේ. කටක ලග්න හිමි ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා 2 වැන්නෙන් තමයි වසර ආරම්භ කරන්නේ. ඒක හොඳ පිහිටීමක්.
ආර්ථික තත්ත්වය ගැන කතාකරද්දී අයස්ථානාධිපති සිකුරු ග්‍රහයා ත්‍රිකෝණස්ථානයක බලවත් වෙලා 11 වැන්නේ බලයත් එක්ක උදාවෙලා සඳුගේ දෙවැන්නේ බලයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට සතුටුදායක ආදායම් මාර්ග පෑදෙනවා. කෘෂිකාර්මික කටයුතු, ස්වයංරැකියා කටයුතුවලට යොමුවෙලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ වසර ප්‍රබෝධමත් වසරක් වෙනවා. ඒ නිසා නව ස්වයංරැකියාවක්, ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදුසුම වසර තමයි 2025. මැයි මාසේ 01 වැනිදා පටන් ආදායම් තත්ත්වය තව තවත් ඉහළ ගිහින් සතුටුදායක කාලයක් උදාවෙනවා.
මාර්තු මාසයෙන් පසුව ගෘහ ජීවිතය සරු වෙනවා. ගෘහ ජීවිතයේ කරදර බාධක තිබුණා නම් මාර්තු 29 වැනිදායින් පසුව ඒ සියලු කරදර වියැකිලා සාර්ථක ජීවිතයක් ගතකිරීමේ වාසනාව උදාවෙනවා.
රැකියාව ගැන සඳහන් කරද්දී, කෘෂිකාර්මික කටයුතු, ස්වයංරැකියා කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදීම හරහා ඉතා හොඳ දියුණුවක් ලබාගත හැකියි.
අධ්‍යාපනය පැත්තෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරක් ලෙස 2025 හඳුන්වා දෙන්න පුළුවන්. සෙනසුර ඒරාෂ්ටකයක් හෝ සෙනසුරු අපලයක් තිබෙන මිථුන ලග්න හිමියන් හැර සෙසු අයට මේ වසරේදී ඉතා සාර්ථක ලෙස අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බවත් මතක් කරන්න ඕනේ. විදෙස් අධ්‍යාපනය සඳහා පිටත්ව යෑමටත් ඉතා හොඳ කාලයක් තමයි මේ උදාවෙන්නේ.
වසර මුලදී සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් දුර්වලතා පෙන්නුම් කරනවා. නමුත් යහපත්ව කටයුතු කිරීම හරහා දාන සීල භාවනාදිය නිසි පරිදි සිදුකිරීම හරහා වඩාත් නිරෝගීව වසර පුරාම ගතකරන්න ඔබට අවස්ථාව ලබාගන්නටත් පුළුවන්කම තිබෙනවා.
සිංහ ලග්නය
ලග්නාධිපති රවී ග්‍රහයා කුජ සමග 5 වැන්නේ ගමන් කරනවා. එය ඉතාම බලවත් පිහිටීමක්. ශනි ග්‍රහයා යොමුවෙලා තිබෙන්නේ 7 වැන්නට. බ්‍රහස්පති ග්‍රහයා 9 වැන්නේ පූර්ව පුණ්‍යස්ථානයේ සුබවාදීව පිහිටලා තිබෙනවා. 8 වැන්නේ ගමන් කරන රාහුගේ බලපෑමත් සමග බාධක ටිකක් ඇතිවෙන්න පුළුවන්. එහෙම වුණත් විදෙස්ගත වීම්වලට හොඳ කාලයක් තමයි මේ වසර.
කෘෂිකාර්මික අංශයේ කටයුතුවල නිරත අයට සහ ස්වයංරැකියාවල නිරත අයට මේ වසරේදී සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම සිංහ ලග්න හිමි ඔබට විදේශ ආයෝජන හෝ අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාර සඳහා යොමුවෙන්න හැකියාව තිබෙනවා නම් එවැනි දේවලින් විශේෂ ලාභ ලැබීමේ වාසනාවක් මේ වසරේදී පෙන්නුම් කරනවා.
පවුල් ජීවිතයේ සතුට උදාවීමටත්, මෙතෙක් කල් අමනාපවී වෙන්වී සිටි අඹුසැමියන්ට නැවත එක්වෙන්න හැකි කාලයක් ලෙසත් 2025 වසර හඳුන්වන්න පුළුවන්. ඒ වගේම නිවසක් හදාගන්න, නිවසේ අලුත්වැඩියාවක් සිදුකරනත් මේ වසර ඉතාම හොඳයි. නමුත් විවිධ ආශාවන් පසුපස ගොස් නින්දා අපහාසවලට ලක්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන නිසා එවැනි දේවලින් ඈත් වෙන්න වගබලා ගත යුතුයි.
නව රැකියාවන් ලැබීමටත්, රැකියාවේ උසස්වීම් හිමිවීමටත්, විදේශ රැකියා සඳහා අවස්ථාව උදාවීමටත් මේ වසරේ බොහෝ ඉඩකඩක් තිබෙනවා. ගුරු 9 වැන්නේ ගමන්කරන නිසා විදේශයන් සමග ගනුදෙනු කරන්න, විදේශ ආයෝජනවල නිරත වෙලා ලාභ උපයන්නත් සුදුසු කාලයක් තමයි 2025 කියන්නේ. ග්‍රහ අපල හෝ සෙනසුරු ඒරාෂ්ටක නැති සියලු සිංහ ලග්න හිමියන්ට මේ යහපත් ප්‍රතිඵල උදාවේවි.
අධ්‍යාපනට තිබුණු බාධා ඉවත් වෙලා අධ්‍යාපනික අංශයෙන් ජය ගැනීමටත්, උසස් අධ්‍යාපනයට යොමුවීමටත් ඉතා සුදුසු කාලයක්. ඒ වගේම අලුත් ගුරු ඇසුර ලැබීමටත් සුදුසු කාලයක්.
උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග, ස්ථුලතාව, ගැස්ට්‍රයිටීස් වගේ රෝගවලින් ප්‍රවේසම් විය යුතුයි. ආහාර ගැනීමේදී ඒ ගැන සිතා ප්‍රවේසම් වීම වඩාත් සුදුසුයි. ඉතින් හැකි තරම් පින් දහම් කටයුතුවල යෙදෙමින් අකුසල් යටපත් කරගෙන කුසලය ඉස්මතු කරගන්න කටයුතු කරන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
කන්‍යා ලග්නය
ඔබගේ සෙනසුරු ග්‍රහයා දැනට ගමන් ගන්නේ කුම්භ රාශියේ. එය අසුබදායක පිහිටීමක් නෙවෙයි. මීන රාශියට තමයි පැමිණෙන්නේ. සමස්තයක් විදියට බැලුවාම කන්‍යා ලග්න හිමි ඔබට මේ වසර සුබදායක බව මුලින්ම සඳහන් කරන්න ඕනේ.
ආර්ථික තත්ත්වය සාර්ථක කරගැනීමට මේ නව වසර මුලදී පොඩි පොඩි බාධක ඇතිවෙන්න පුළුවන්. නමුත් මාස තුනක් විතර ගතවෙද්දී අවහිර වෙලා තිබුණු ආදායම් මාර්ග යළි විවෘත වෙන්න පටන්ගන්නවා. අගහිඟකම් තිබුණා නම් ඒ සියල්ල ඉවත්වෙලා යනවා. මාර්තු මාසයෙන් පසුව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම සුදුසුයි. ගොවිතැන් ආදිය සරුසාර වෙන කාලයක් බවට පත්වෙනවා.
ගෘහ ජීවිතය ගැන කතාකරද්දී, විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටි අයගේ ඒ අපේක්ෂාවන් මුදුන්පමුණුවා ගන්න අවස්ථාව ලැබෙනවා. පවුල් ජීවිතයේ අඹුසැමියන් අතර යම් මතභේදකාරී තත්ත්වයන් තිබුණා නම් ඒ සියල්ල 2025 මාර්තු මාසයෙන් පසුව මහගැරිලා ප්‍රීතිමත් ගෘහ ජීවිතයක් ගතකිරීමේ භාග්‍යය උදාවෙනවා. අප්‍රේල් මාසයෙන් පසුව බොහෝ ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. ඒකට හේතුව තමයි සෙනසුරු ග්‍රහයා 7 වැනි කොටුව හෙවත් විවාහ ස්ථානයට එන නිසා.
රැකියාවක්, ව්‍යාපාරික කටයුත්තක් කරන අය එම කටයුතු තරමක් වෙහෙස මහන්සියෙන් කාර්යක්ෂමව කරනවා නම් එයින් වඩා යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් යම් යම් බාධක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් වසර මුලදී. අප්‍රේල් අගභාගයෙන් පසුව විදේශ රැකියාවන් හෝ විදේශ සබඳතාවන් හරහා යහපත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමටත් අවස්ථාව උදාවෙනවා. ව්‍යාපාරික හෝ රැකියා කරන තැන ඔබට යම් සතුරෙන් සිටියා නම් මේ වසරේදී ඒ සතුරන් මැඬපවත්වාගෙන ඉදිරියට යෑමේ භාග්‍යය උදාවෙනවා.
2025 වසරේදී ඔබේ හෝ ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවෙන්න පුළුවන්. නමුත් අප්‍රේල් මාසයෙන් පසුව ඒ බාධා ඈත්වෙලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රතිඵල ළඟාකරගන්න පුළුවන් වෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට 2025 වසරේ මැදභාගයෙන් පසුව ඉතා සුදුසුයි.
සෞඛ්‍ය තත්ත්වය ගැන කතාකරද්දී අධික උෂ්ණ බව නිසා ඇතිවෙන රෝග, රුධිර ගමනාගමනයේ බාධා වගේම ශල්‍යකර්මයන්ට ගොදුරු වීමේ අවදානමක් පෙන්නුම් කරනවා. ඒවායෙන් ප්‍රවේසම් වීම ඉතා වැදගත් වෙනවා.
කන්‍යා ලග්න හිමි ඔබට සමස්තයක් ලෙස 2025 වසර යහපත් වසරක් බව කියන්න පුළුවන්. යහපත් කටයුතුවල නිරතවෙමින්, දාන සීල භාවනාදී පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් මේ උදාවන වසර තව තවත් සුබදායක කරගන්න කියලා සිහිපත් කරනවා.
තුලා ලග්නය
මාර්තු මාසේ සිදුවන ග්‍රහ මාරුවත් සමග සෙනසුරු ග්‍රහයා 6 වැන්නට පැමිණෙනවා. ඒක ඉතා හොඳ පිහිටීමක්. ඔබේ මේ වසර ආරම්භ වෙන්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා බුධත් සමග 2 වැන්නේ ස්ථානගත වීමෙන්.
2025 වසරේ ආරම්භයේදීම ඔබේ ආර්ථික තත්ත්වය ඉතා යහපත් වෙනවා. ඔබේ සැමියාට හෝ බිරිඳට හදිසි ධන ලාභයක් හිමිවීමේ වාසනාවත් තිබෙන වසරක් ලෙස සඳහන් කරන්න කැමැතියි. ලැබීමට තිබුණු ණය මුදලක් ලැබීමටත් හේතු යෙදන කාලයක්. ඒ නිසා 2025 වසර තුලා ලග්න හිමි ඔබට ආර්ථික අතින් ඉතා යහපත් වසරක් බව කියන්න පුළුවන්.
අඹුසැමියන් අතර බැඳීම වර්ධනය වීමටත්, විවාහ අපේක්ෂිත අයට ප්‍රේම සම්බන්ධතා ඇතිවීමටත් සුදුසු කාලයක් මේ වසරේදී උදාවෙනවා. නඩුහබවලින් ජයග්‍රහණ ලැබෙනවා. ඒ අතර ළඟම ඥාතියකුගේ අභාවයක් හෝ දුක්මුසු පුවතක් අසන්නට ලැබීමේ හැකියාවකුත් පෙන්නුම් කෙරෙනවා. කාලයක් අමනාප වෙලා ඈත්වෙලා හිටපු ඥාතියෙක් නැවතත් කුලුපග වීමේ හැකියාවත් මේ කාලය තුළදී උදාවෙනවා.
දුරබැහැර ප්‍රදේශවල හෝ විදේශගතව රැකියා කිරීමට සහ ඒ හරහා හොඳ ආදායමක් උපයාගන්නට සුදුසු කාලයක් තමයි 2025දී උදාවෙන්නේ. ව්‍යාපාරික කටයුතුවලිනුත් හොඳ ලාභයක් ලබාගන්න පුළුවන්. ඒ නිසා ආර්ථික අතින් ශක්තිමත් වකවානුවක් තමයි 2025දී තුලා ලග්න හිමි ඔබට උදාවෙන්නේ.
උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ප්‍රථමික අධ්‍යාපනය හදාරන සියලු දෙනාට ඒවායින් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වසරක් විදියටත් 2025 අවුරුද්ද සලකන්න පුළුවන්. විවිධ භාෂා හදාරන්න, විදේශ අධ්‍යාපනය ලබන්න, අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වූ විශිෂ්ට ජයග්‍රහණ ලබන්න මේ වසරේදී හැකියාව තිබෙන බවත් කියන්නට අවශ්‍යයි.
කේතු හෝ රාහු දශාවක් ගතකරන අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරිස්සම් විය යුතුයි. අණවින කොඩිවින වගේ දේවල් බලපාන්න පුළුවන් මනස දුර්වල තුලා ලග්න හිමියන්ට. ඒ නිසා මනස ශක්තිමත් කරගැනීමෙන් ඒ දෝෂ වළක්වා ගන්න පුළුවන්.
පින්දහම් කටයුතුවල යෙදෙමින් යහපත් ගුණධර්ම වර්ධනය කරගැනීම තුළිනුත් ඔබේ ජීවිතය මේ වසරේදී යහපත් කරන්න පුළුවන් බව සිහිපත් කරන්න කැමැතියි.
වෘශ්චික ලග්නය
සිකුරු ග්‍රහයා බුධ සමග යෝග වීමෙන් වසර ආරම්භ වෙනවා. ඒ නිසා ඍජු තීරණ ගන්නා වසරක් බවට 2025 වසර පත්වෙනවා. ඔබ වටා විශාල පිරිසක් එකතු වෙන වසරක් බවටත් 2025 පත්වෙනවා. ඒ වගේම ඔබේ සතුරන් මර්දනය වෙන, ඔබේ නම රටේ ලෝකයේ ප්‍රසිද්ධ වෙන වසරක් බවටත් පත්වෙනවා. නමුත් චන්ද්‍රයා 4,5,6 යන ස්ථානවල සිටින අයට ජන්ම ඒරාෂ්ටකයක් පවතින නිසා තරමක් අසුබ ඵල උදාවෙන්න පුළුවන්.
ඔබේ ආර්ථික තත්ත්වය මේ නව වසරේදී ඉතාම සතුටුදායක වෙනවා. හවුල් ව්‍යාපාර, නව වෙළෙඳාම් කටයුතු සාර්ථක වෙන වසරක් බවට පත්වෙනවා. මැයි මාසයෙන් පසුව උදාවන කාලයේදී ඔබේ ධෛර්යවත් බව තවත් වැඩිවීම නිසා ඉතා ශක්තිමත් ආර්ථික වර්ධනයක් කරා ළඟාවීමේ හැකියාව වෘශ්චික ලග්න හිමි ඔබට උදාවෙනවා. රැකියාවන්, ව්‍යාපාර, වෙළෙඳ කටයුතු, මැණික් ගැරීම සහ වගාකටයුතු ඉතාම සාර්ථක කරගන්න පුළුවන්.
ඔබේ මවුපියන්ට තරමක කරදරකාරී කාලයක් නිසා ඔවුන් වෙනුවෙන් වියපැහැදම් කිරීමට සිදුවිය හැකියි. නීති විරෝධී කටයුතුවලට යොමුවුණොත් ඒවාට නීතියෙන් දඬුවම් විඳීමට සහ සිරගත වීමට පවා සිදුවෙන්න පුළුවන්. ඒ නිසා එවැනි නීති විරෝධී දේවල්වලින් ඈත් වී සිටීම නුවණට හුරුයි. අලුත් මිතුරන් මුණගැසීමටත්, විවාහ බලාපොරොත්තු ඉටුවීමටත් සුදුසු පරිසරයක් මේ අවුරුද්දේ නිර්මාණය වෙනවා.
රැකියාවේ ඉහළට යෑම සඳහා තිබුණු බාධක දුරුවෙලා ආයතන ප්‍රධානීන්ගේ අවධානය ඔබ වෙත යොමුවෙන කාලයක් තමයි උදාවෙන්නේ. මෙතෙක් නොලැබුණු රැකියා ඉලක්ක ලැබීමටත් හේතු යෙදෙනවා. ඔබේ ආයතනයේ මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් විවිධ බාධා එල්ල වෙන්න පුළුවන් නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.
අතපසු වූ විභාගයන්ට නැවත මුහුණ දීමටත්, අධ්‍යාපනයෙන් සුවිශේෂ ජයග්‍රහණ ලැබීමටත් හැකි වසරක් බවට 2025 පත්වෙනවා. 5 වැන්න සහ 9 වැන්න බලවත් දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළටම යෑමට හැකියාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්ත්වය ගැන කිව්වොත් විශේෂ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. මධ්‍යස්ථ සෞඛ්‍ය තත්ත්වයක් තමයි පවතින්නේ වසර පුරාම.
අපල, කරදර පවතින අය දන් දීමෙන්, සීලය ආරක්ෂා කිරීමෙන් ඒ අපල යටපත් කරගන්නට කටයුතු කරන ලෙසත් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
ධනු ලග්නය
ඔබේ ග්‍රහචාරය අනුව 2025 වසර යහපත් වසරක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා. ඒරාෂ්ටක හෝ ජන්ම ඒරාෂ්ටක ඔබට බලපවත්වන්නේ නැහැ. ඔබේ කේන්ද්‍ර සටහනේ තුන්වැනි කොටුවේ හෝ පස්වැනි කොටුවේ සඳු සිටිනවා නම් ඒ අයට පමණක් ජන්ම ඒරාෂ්ටකයක් තිබෙනවා.
ගොවිතැන් හෝ කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට වසර මුල් භාගයේදී අවහිරතාවකට මුහුණ පාන්න සිදුවෙනවා. නමුත් පසුකාලීනව ඒවා නිරාකරණය වී යනවා. සුළු ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්ට වසර මැද පමණ වෙද්දී ආර්ථික අතින් සවිමත් වීමට අවස්ථාව උදාවෙනවා. ආදායම් මාර්ගවල නොසිතූ වෙනසක් මැයි, ජුනි, ජූලි මාසවලදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හඳහනේ ලග්නාධිපති ග්‍රහයා 5 වැනි කොටුවේ සිටින විට දරුවන් සම්බන්ධයෙන් අසන්නට ලැබෙන සුබ ප්‍රවෘත්ති හේතුවෙන් සතුටු වීමට අවස්ථාව ඔබට ලැබෙනවා. විවාහාපේක්ෂාවෙන් සිටි අයට මංගල යෝග උදාවෙනවා. ගෘහ ජීවිතයේදී සතුරන්, විරුද්ධවාදීන් සිටියා නම් ඒ සතුරන් පරාජයට පත්වීමත් මේ වසරේදී සිදුවෙනවා. විටින් විට සිත් තැවුල් ඇතිවුණත් වසර මැද වෙද්දී ඒ සියල්ල පහව ගිහින් සතුට ප්‍රීතිය උදාවෙනවා. නිවෙසේ අලුත්වැඩියාවක්, නව ඉදිකිරීමක් හෝ ඉඩමක් මිලදීගැනීම වෙනුවෙන් යොමුවීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා.
විදේශයන් සමග කරන ගනුදෙනු, අනතර්ජාලය හරහා කරන රැකියා ඉතාම සාර්ථක කරගැනීමට පුළුවන්කම ලැබෙනවා. රැකියාවක් නොමැතිව සිටි අයටත් නව රැකියා අවස්ථා සලසා ගැනීමට අවස්ථාව උදාවෙන කාලයක් බව කිව යුතුයි. විදේශගතව රැකියා කරන අයට ඒ රටවල ස්ථිර පදිංචි පවා ලබාගැනීමට වාසනාව ඇති වසරක් තමයි 2025. ඒ අතර රැකියාවේ කාර්යබහුලත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට වැඩිහිටියන්ට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි කාලයක් උදාවෙනවා. තොරතුරු තාක්ෂණය හෝ වෙනත් තාක්ෂණික අංශයන්ගේ රැකියා කරන අයට බොහොම හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් නරක මිතුරු ඇසුර හේතුවෙන් අධ්‍යාපනය කඩාකප්පල් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරන නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කිරීමත් අවශ්‍ය වෙනවා.
වසර මුලදී සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක් පෙන්නුම් කළත් වසර මැද වෙද්දී ඒවා යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වෙනවා. ධනු ලග්න හිමි ඔබ සියලු දෙනාම දාන, සීල, භාවනා කටයුතු සිදුකරමින් යහපත් ජීවන රටාවක් ගතකිරීම හරහා මේ වසර සුබදායක කරගැනීමට අවස්ථාව උදාවෙනවා.
මකර ලග්නය
වසර හතහමාරක් ලග්න ඒරාෂ්ටකයක් නිමාකරලා, වසර දොළහමාරක සුබ කාලයක් ලබන එකම ලග්නය වෙන්නේ මකර ලග්නයයි. පසුගිය වසර හතහමාරක් තිස්සේ මකර ලග්න හිමියන් ගතකරපු ලග්න ඒරාෂ්ටකය 2025 මාර්තු 29 වැනිදා අවසන් වෙනවා. නමුත් සඳු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ 2,3,4 කොටුවක සිටිනවා නම් ජන්ම ඒරාෂ්ටකය තවදුරටත් පවතිනවා. ඒ අයට අපල සුළු වශයෙන් බලපානවා. 2025 වසර මකර ලග්න හිමි ඔබ හැමටම සතුටුදායක වසරක් වෙනවා.
ඔබේ ආර්ථික තත්ත්වය, ආදායම් මාර්ග ඉහළ යනවා. ඒ වගේම මේ වසරේ ඔබේ වියදම් පක්ෂය තරමක් ඉහළ යනවා. අනපේක්ෂිත ධන ලාභ, ලොතරැයි ජයග්‍රහණ, හදිසි ණය මුදල් ලැබීම් වගේ දේවල් සිදුවීමට ඉඩ තිබෙනවා. මැණික් ලාභ, භූමි ලාභ, ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබීමටත් නියමිතයි. ඒ නිසා මේ වසර ඔබට ආර්ථික අතින් ඉතාම ශක්තිමත් සහ වාසනාවන්ත වසරක් බවට පත්වෙනවා.
වසර මුලදී ගෘහ ජීවිතයේ යම් යම් කරදර බාධක තිබුණා නම් ඒ සියල්ල මැයි මාසයෙන් පසුව දුරුවෙලා යනවා. විවාහාපේක්ෂාවෙන් පසුවන අයට විවාහ යෝජනා ලැබීමත්, අඹුසැමියන් අතර සතුට සමගිය වර්ධනය වීමත් මේ කාලය තුළ සිදුවෙනවා. මකර ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතයේ සතුටුදායකම වසර 2025 බව කියන්න පුළුවන්.
ඔබේ රැකියාවේ මිශ්‍ර ඵලදායී තත්ත්වයක් තමයි වසර මුලදී පෙන්නුම් කරන්නේ. මුලදී යම් බාධා තත්ත්වයන් තිබුණා නම් මැයි මාසයෙන් පසුව ඒ සියල්ල දුරුවෙලා යනවා. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයට රැකියා ලාභ ලැබීමත් මැයි මාසයෙන් පසුව සිදුවෙනවා.
මාර්තු 29 වැනිදායින් පසුව අධ්‍යාපනයෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගන්න මකර ලග්න හිමියන්ට පුළුවන් වෙනවා. අලුත් භාෂාවන්, අලුත් පාඨමාලාවන් හැදෑරීමටත් අවස්ථාව උදාවෙන කාලයක්. ඒ වගේම මැයි මාසයෙන් පසුව උසස් අධ්‍යාපනයේ නිරත සියලු දෙනාටත් සිය අධ්‍යයන කටයුතු, විභාග කටයුතුවලින් විශිෂ්ට ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවෙනවා.
සෞඛ්‍ය තත්ත්වය ගැන කතාකරනවා නම් ඔබ දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගත් යම් රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒවායින් යම් සුවපත්භාවයක් ලැබෙනවා මාර්තු 29 වැනිදායින් පසුව. ඒ වගේම අනෙකුත් මකර ලග්න හිමියන්ට සමස්තයක් වශයෙන් වසර පුරාම නිරෝගී සුවයක් දැකගන්න ලැබෙනවා. හොඳ වෛද්‍යවරුන් මුණගැහෙනවා, ඒ වෛද්‍යවරුන්ගෙන් ඔබට හොඳ ඖෂධ වර්ග ලැබෙනවා. ඒ නිසාම බොහොම නිරෝගී කාලයක් ගතකරන්න අවස්ථාව ලැබෙනවා.
නිතර පින්දහම්වල යෙදෙමින් යහපතෙහි යෙදෙමින් ඔබට තිබෙන අපලයන් දුරුකර ගන්න කටයුතු කරන්න කියලා අවසාන වශයෙන් සිහිපත් කරනවා.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමි ඔබ වසර 5ක කාලයක් සෙනසුරු ඒරාෂ්ටකයක් ගතකරමින් සිටිනවා. තවත් වසර දෙකහමාරක් ගතවෙනවා මේ ලග්න ඒරාෂ්ටකය අවසන් වෙන්න. ඒ අනුව 2027 ජුනි මාසේ 03 වැනිදා තමයි මේ ඒරාෂ්ටකය අවසන් වෙන්නේ. ඔබගේ හඳහනේ සෙනසුරු ග්‍රහයා වෘශ්චික, කටක හෝ සිංහ කියන කොටුවක සිටිනවා නම් ඒ අයට ඉදිරි වසර දෙකහමාරක කාලයත් සෙනසුරු ලග්න ඒරාෂ්ටකය ගතකරන්න සිදුවෙනවා. නමුත් සෙනසුරු ග්‍රහයා බලවත් කුම්භ ලග්න හිමියන්ට එයින් කිසිදු හානියක් වෙන්නේ නැහැ.
ආදායම් මාර්ග සතුටුදායක ලෙස ඉහළ යනවා. නමුත් වියදම් පක්ෂයත් තරමක් ඉහළ යනවා. ආදායමට වඩා වියදම ඉහළ යෑම හේතුවෙන් ඉතිරි කිරීම් දුර්වල වෙනවා. අප්‍රේල් මාසයේදී ව්‍යාපාරවලින් දියුණුව ලැබෙනවා. කෘෂිකාර්මික කටයුතු සහ ස්වයංරැකියාවල නියුතු අයට මැයි මාසයෙන් පසුව ඉතාම සුබදායක කාලයක් උදාවෙනවා.
ගෘහ ජීවිත ගතකරන අඹුසැමියන් අතර අසමගිකම් තිබුණා නම් ඒවා දුරුවෙන්නට හේතු යෙදෙනවා. විදෙස්ගත වීමකට හෝ පදිංචිය වෙනස් කිරීමකටත් අවස්ථාව සැලසෙනවා. විවාහ බාධා මගහැරී යහපත් විවාහ සඳහා යොමුවීමේ අවස්ථාව උදාවෙන බවත් කිව යුතුයි. යම් නීතිමය ප්‍රශ්නයක් තිබෙන අයට ඒ සඳහා යොමුවීමට වසරේ මුල් කාලය සුදුසු නැහැ. මැයි මාසයෙන් පසුව ඊට යොමුවීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට අවස්ථාව සැලසෙනවා.
රාහු මහ දශාව ගතකරන කුම්භ ලග්න හිමියන්ට විදෙස් රැකියාවලට යෑමට අවස්ථාව උදාවෙනවා. ඒ වගේම අලුත් රැකියාවන් ලැබෙනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසුම මාසය 2025 ජුනි මාසය බවත් සඳහන් කරන්න ඕනේ.
මේ නව වසරේදී අධ්‍යාපන කටයුතුවල නිරත අයට එයින් සාර්ථක ප්‍රතිඵල උදාකර ගැනීමේ හැකියාව තිබෙනවා. නව භාෂාවන් හැදෑරීමටත්, නව ගුරුවරුන් මුණගැසීමටත් හේතු යෙදෙනවා. අනවශ්‍ය ආදර සම්බන්ධතාවලට යොමුවීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් වීමේ හැකියාවකුත් පෙන්නුම් කරනවා. ඒ නිසා එවැනි සම්බන්ධතාවලදී වඩාත් ප්‍රවේසම් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
2025 ජුනි 03 වැනිදා වනතුරු ඔබට විවිධ රෝගාබාධ, පීඩාවන් ඇතිවීමට හේතු යෙදෙනවා. නමුත් ජුනි 03 වැනිදායින් පසු ඒ බාධක සියල්ල දුරුවෙලා යනවා. ඒ නිසා එවැනි රෝග පීඩාවන් තිබෙන කුම්භ ලග්න හිමියන් හැකිතාක් පින් දහම් කටයුතුවල නිරත වෙමින් ඒ බාධා ඉවත් කරගන්න කියලා සිහිපත් කරනවා.
මීන ලග්නය
මීන ලග්න හිමි ඔබ සෙනසුරු ලග්න ඒරාෂ්ටකය ආරම්භ කරන්නේ 2025 මාර්තු 29 වැනිදා සිට. එතැන් පටන් ඔබ වසර හතහමාරක කාලයක් මේ ලග්න ඒරාෂ්ටකය තුළ ගතකරනවා. ශනි ග්‍රහයා, කටක, සිංහ හෝ වෘශ්චික කියන කොටුවක සිටිනවා නම් එවැනි මීන ලග්න හිමියන්ට මේ ලග්න ඒරාෂ්ටකය බලපානවා. ඔවුන්ට මේ උදාවෙන්නේ නරක කාලයක් බව මතක තබාගන්න. එවැනි අය තමන්ගේ හඳහන පරීක්ෂා කරවාගන්නවා නම් ඉතාමත් හොඳයි. මොකද ඉතාම නරක, බලාපොරොත්තු බිඳවැටෙන, කරදර බාධක වැඩි කාලයක් තමයි උදාවීමට නියමිතව තිබෙන්නේ. නමුත් සෙනසුරු බලවත් කෙනකුට මේ තත්ත්වය බලපාන්නේ නැහැ.
ධන ලාභ ලැබෙන කාලයක් විදියට 2025 හඳුන්වන්න පුළුවන්. ඒ ධන ලාභ ලැබෙද්දී ඒ ගැන අවබෝධයෙන් පින්දහම්වල නිරත වෙමින් ධනය පරිහරණය නොකළොත් නැවත මහපාරට වුණත් වැටෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වියදම් ගැනත් වඩාත් සැලකිලිමත් විය යුතුයි.
අඹුසැමි සබඳතා තරවීමට, දරුවන්ගේ ආදරය ලබාගැනීමට හේතු යෙදෙනවා. ඒ වගේම තමන්ට අහිමි වෙලා තිබුණු ගෙවල් දොරවල්, ඉඩකඩම්වල අයිතිය නැවත ලබාගැනීමටත් අවස්ථාව ලැබෙනවා. දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වීම නිසා සතුටින් කාලය ගතකරන්නත් හැකියාව ලැබෙනවා.
නොසිතූ ආකාරයෙන් රැකියා ලැබීමේ වාසනාවත් තිබෙන කාලයක්. විදේශ රැකියාවලටත් ආරාධනා ලැබෙන කාලයක් වෙනවා. ආදායම් වියදම් කළමනාකරණය කරගැනීමත් ඉතාමත් වැදගත්. එසේ නොවුණොත් වියදම් පක්ෂය වැඩිවීම නිසා ආර්ථික ගැටලු ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
අධ්‍යාපනය ලබන මීන ලග්නයෙන් උපන් දරුවන්ට ඉතාම සුබ කාලයක් තමයි 2025දී උදාවෙන්නේ. අලුත් පාඨමාලාවක්, අලුත් උපාධියක් හදාරන සිසුන්ටත් වඩා යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකියාව ලැබෙනවා. විදෙස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් සිටි අයටත් හොඳ කාලයක් උදාවීමට නියමිතයි.
ආමාශගත රෝග, වකුගඩු ආශ්‍රිත රෝග, තුනටිය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානමක් 2025දී පවතින බව සඳහන් කළ යුතුයි. ඒ වගේම අනපේක්ෂිත ලෙස ලිංගාශ්‍රිත රෝග පවා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ සියල්ල ගැන හොඳ අවධානයෙන් කටයුතු කළොත් මේ බාධක මගහැරගෙන සාර්ථකව මේ වසර ගතකරන්න පුළුවන්කම ලැබෙනවා.
Dr. Keman Kulasiri යූටියුබ් නාලිකාවෙනි










