හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවට සමගාමීව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර තෙල්දෙණියේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව හෙට පෙරවරු 10ට විපක්ෂනායකවරයා තෙල්දෙණියේදී මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
හෙට දිනයේ ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් රාජාසන කතාව සිදු කිරීමට නියමිතව ඇතත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලු පාර්ශව ගණනාවක්ම එය වර්ජනය කිරීමට පියවර ගන්නා බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ.
ඒ අනුව
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම-ජී.එල්.පීරිස්-විමල් වීරවංශ පාර්ශවය-විමල් වීරවංශ-උදය ගම්මන්පිල-වාසුදේව නානායක්කාර පාර්ශ්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගේ රාජසන කතාව වර්ජනය කිරීමට නියමිතය.
මීට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාද හෙට රැස්වීමට සහභාගී වන්නේ නැත.
නමුත් ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වීමේ අවස්ථාවට ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම් යන මහත්වරුන් නියෝජනය කරන පක්ෂ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.