කොරෝනා වයිරසය පැතිර යාම මුල් කරගෙන රටම භීතියට පත්ව සිටින මොහොතක සහ ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණින් රටටම ඇදිරි නීතිය පනවා ඇති මොහොතක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සිය කොළඹ, ක්‍මේබ්‍රිජ් ප්ලේස්හි පිහිටි සුවිසල් නිවෙසේ ඉහළම විවෘත මහලෙහි සාදයක් (Pool Party) පැවැත්වීම සම්බන්ධයෙන් ‘සන්‌ඩේ ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.
ඊයේ රාත්‍රී ඇරැඹි මෙම සාදය අද අලුයම 2.30 දක්වා පැවැති බව පෙන්වා දෙන මාධ්‍යවේදිනිය, ඇදිරි නීතිය පනවා තිබෙන මෙවන් අවස්ථාවකදී මෙවැනි සාදයක් පැවැත්වීම ප්‍රශ්නාර්ථයක් බවත්, පොලිස් නිලධාරීන් පවා කිසිවක් නොකොට ඒ අවස්ථාවේ මාර්ගයේ රැදී සිටි බවත් සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් නාමිනී විජේදාස මාධ්‍යවේදිනිය ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාට දැනුම් දුන් බවත්, එම පණිවුඩය අජිත් රෝහණ මහතා දැක තිබුණද තමන් ලබා දුන් කිසිදු ඇමතුමකට ඒ මහතා පිළීතුරු නොදුන් බවත් ඇය සදහන් කොට ඇත.
ඒ අනුව මාධ්‍යවේදිනියක ලෙස තමන් මෙය ජනතාව ඉදිරියට රැගෙන යන බවත් නාමිනී සදහන් කොට ඇත.
සිය ෆේස්බුක් පිටුවෙහි සදහනක් තබමින් ඇය මේ බව අනාවරණය කොට තිබේ.
නාමිනී විජේදාස සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක මෙන්ම ගවේෂණාත්මක පුවත්පත් කලාවෙහි නිරත, සම්මානනීය මාධ්‍යවේදිනියක ලෙස ප්‍රකටය. අනෙක් කිසිදු මාධ්‍යයක් මෙම පුවත අනාවරණය නොකර සිටින පසුබිමක අප නාමිනී විජේදාස මාධ්‍යවේදිනියගේ පුවත උපුටා දක්වනුයේ ඒ අනුවය.











