ශ්‍රී ලංකාවට ISIS අන්තවාදී තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින වාර්තා සහ ප්‍රචාර සාවද්‍ය බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර සහ පළවන වාර්තා පිළිබඳ විශ්වාසය නොතබන ලෙසත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව තුල අන්තවාදී තර්ජන එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී නොමැති බව පෙන්වා දෙන ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය සියලූම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බවද සදහන් කරයි.
කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදාවේ සහ පොලීසියේ සහය ලබාගැනීම තුළින් රටේ ජාතික ආරක්ෂාව කිසිඳු ආකාරයකින් නොසලකා හැර නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
ජාතික ආරක්ෂාව ද පවත්වා ගනිමින් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සහයට සහය වීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බව ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.











