පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොමිසම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට දැඩි ලෙස අවවාද කර තිබේ.
කොමිසම ඔවුන්ට අවවාද කර ඇත්තේ, සාක්ෂිකරුවන් විසින් කොමිසමේ දී කරන යම් යම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසය.
ඒ අනුව අදාළ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කළේ ය.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –
” වරින් වර සංශෝධනය වී ඇති කොමිසන් සභා පනතේ 10 වන වගන්තිය අනුව මෙම කොමිසමට අපහාසයක් හෝ අගෞරවයක් සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යොමු කර දඬුවම් දීමට හැකියාව ඇත. කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය මඟින් පෙන්වා දී තිබුණේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි අසත්‍යයක් බවයි. නමුත් හිටපු ජනාධිපතිවරයාද නුදුරු දිනකදී සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවන බව ඔහුට දන්වා යවා ඇත.කරුණු එසේ තිබියදී මාධ්‍ය නිවේදයනක් නිකුත් කළ මෛත්‍රීපාල සිරිසේන සහ සමීර ද සිල්වා මහත්වරුන් එවැනි නිවේදනයක් නිකුත් නොකළ යුතුව තිබුණු බව පවසමි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පෞද්ගලික ලේකම්වරයාට අවවාද කරන්නේ මින් පසු මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසයි. මීට අමතරව කොළඹ අගරදගුරු පදවියෙ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අවවාද කරන්නේ එවැනි මාධ්‍ය නිවේදන මින් පසු නිකුත් නොකරන ලෙසයි.”
පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.
එසේවුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් කොමිසමේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාය.
නමුත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ සිටියේ ය.