මෛත්‍රිපාල සිරිසේන යනු තමන් ගැන පමණක්ම හිතන පක්ෂයක්, රටක් පිළිබඳව අබමල් රේණුවක් නොසිතන මහා අවස්ථාවාදී දේශපාලකයකු බව අප මේ තීරය ඔස්සේ උදාහරණ සහිතව අනාවරණය කර සිටියේ වරක්, දෙවරක් නොවේ. අවස්ථා කිහිපයකදීම මෛත්‍රිපාල තමන් සමඟ එකට සිටි අතිශය විශ්වාසවන්ත පුද්ගලයන් පවා පාවාදී තම පැවැත්ම සාදාගත් ආකාරයද අපි මෙහිදී අවස්ථා කිහිපයකදීම සටහන් කර තැබුවෙමු. මෛත්‍රිගේ පළමු මහා පාවාදීම වූයේ ශ්‍රීලනිප මහලේකම්වරයා වශයෙන් සිට පක්ෂ සභාපතිවරයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිටුපා ආණ්ඩුවෙන් එළියට පැමිණ මහින්දටම එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. ඒ කළ මහා පාවාදීමත් සමඟ මෛත්‍රි ඉතිහාසගත වූයේ තමන්ගේම පක්ෂ නායකයා පරාජය කරමින් ඔහුව බලයෙන් පහ කළ අයකු ලෙසටය.
සිරිසේනගේ අලුත්ම පාවාදීම

අප මේ කෙටි හැඳින්වීම කළේ මේ පාවා දීම් නැවැත වතාවක් සිහිපත් කරමින් පසුගිය සතියේද මෙවැනිම ආකාරයේ තමන්ගේම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පාවාදෙමින් මෛත්‍රි තමන්ගේ සුපුරුදු පාවාදීමේ රංගනය දියත් කිරීමට කටයුතු කර තිබීම නිසාය. ඒ කළේ පක්ෂයේ අතිබහුතරයක් මෙවර පොහොට්ටුව සමඟ එක්ව මහ මැතිවරණයට තරග නොකොට වෙනම තරග කළ යුතු බවට දැඩි මතයක සිටිද්දී ඒ සියල්ලන්ම පාවාදෙමින් ඔවුන්ටද නොකියා හොර රහසේම මහින්ද රාජපක්ෂ මහතා හමුවී පොළොන්නරුවේ පොහොට්ටුවේ නාමයෝජනාවට අස්සන් තැබීමට මෛත්‍රි කටයුතු කර තිබීම නිසාය.
මෛත්‍රි පොළොන්නරුවේ නාමයෝජනාවට පොහොට්ටුව සමඟ අස්සන් තැබූ බවක් සියල්ලන්ම දැනගත්තේ මාධ්‍යයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වීමත් සමඟය. පසුගිය සතියේ නාමයෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහින්දගේ විජේරාම නිවෙසේ පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් සමඟ සාකච්ඡා කරමින් සිටියදී පොළොන්නරු නාමයෝජනා පිළිබඳව ඇදී ආ අවස්ථාවේදී මෛත්‍රි එක්වරම කියා සිටියේ “මට දැන් නාමයෝජනාවලට අස්සන් තියන්න පුළුවන්ද” යැයි කියාය. එවිට බැසිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ලැයිස්තුවේ දෙවැනියට අස්සන් කළාට කමක් නැද්ද යැයි කියාය. ඊට හේතු වූයේ මෛත්‍රි පොළොන්නරුවෙන් ඉල්ලීමට කැමැත්ත පළකෙරුවද පොහොට්ටුවේ පොළොන්නරුවේ නායකයා වූ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එහි කණ්ඩායම් නායකයා වශයෙන් අංක 01ට නම් කළ යුතු නිසාය. හිටපු ජනාධිපතිවරයකු වුවද මෛත්‍රි ඊට දෙවරක් නොසිතාම හා කියා එකඟතාව පළ කළේ කෙසේ හෝ පොහොට්ටුවට රිංගාගෙන පාර්ලිමේන්තුවට යළි පැමිණිය යුතු නිසාය.
සිරිසේනට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක්

කෙසේ වෙතත් මෛත්‍රි මේ ආකාරයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවා නොදන්වා ඔවුන්ද පාවාදී මහින්දගේ නිවෙසට ගොස් තමන්ගේ නාමයෝජනාවලට පමණක් අස්සන් කළද ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වූ දයාසිරිත්, අනෙකුත් ජ්‍යෙෂ්ඨයන් වූ දුමින්ද දිසානායකත්, ලසන්ත අලගියවන්නත්, වීරකුමාර දිසානායකත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ කලින් පොරොන්දු වූ ආකාරයට පොහොට්ටුව තම පක්ෂයට නාමයෝජනා ලබාදිය යුතු බවත්, නොඑසේ නම් ශ්‍රීලනිපය වෙනම සියලුම දිස්ත්‍රික්කයන්ට තරග කිරීමට සූදානම් විය යුතු බවත්ය. ඒ අනුව ඔවුන් කියා සිටියේ පොරොන්දු වූ පරිදි දැනට ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රිවරුන්ට නාමයෝජනා ලබාදෙනවාට අමතරව තවත් එක් නාමයෝජනාවක් සෑම දිස්ත්‍රික්කයෙන්ම ශ්‍රීලනිපයට ලබාදිය යුතු යැයි කියාය. නමුත් මේ එකඟතාවට බොහෝ දිස්ත්‍රික්කවල පොහොට්ටුව එකඟ නොවීම මත දෙපාර්ශ්වය අතර පැවැති අර්බුදය ඉහළ යන ආකාරයක් දැකගත හැකි විය. මේ නිසාම දයාසිරි පක්ෂ මූලස්ථානයේ සිට සෑම දිස්ත්‍රික්කයටම වෙනම නාමයෝජනා ලැයිස්තු පවා සකස් කිරීමට පියවර ගත්තේ එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවහොත් වෙනම තරග කිරීමේ අරමුණ ඇතිවය.
පොහොට්ටු කාර්යාලයේ ගැටුමක්
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණාත්මක සාකච්ඡාව පොහොට්ටුවේ ප්‍රධානීන් සමඟ පැවැත්වූයේ පසුගිය අඟහරුවාදා දිනයේය. දයාසිරි, දුමින්ද හා වීරකුමාර දිසානායක නෙළුම් මාවත කාර්යාලයට ආවේ නාමයෝජනා අත්සන් කීරිමටය. නමුත් නාමයෝජනා අත්සන් කීරිමට සාගරගේ කාර්යාලයට ගිය දයාසිරි ඇතුළු පිරිස නාම යෝජනා අත්සන් කීරීම පසෙක තබා සාගර කාරියවසම්ට දොස් කියන්නට පටන් ගත්හ.
“මේක මහා පුදුම වැඩක්නේ. මොකද මේ අපේ එකගතාවය කඩන්නේ. සමහරු තැන් තැන්වල අපිව විවේචනය කර කර යනවා. ඒ අයගේ කට වහන්න කෙනෙක් නැද්ද? මේවා නවත්තන්න වෙයි. නැත්තම් අපි බලා ගන්නම්… ” යැයි දුමින්ද මහ හඬින් කීවේය.
සාගර කොතරම් කරුණු කියුවත් දුමින්දලා එය පිළිගන්නේම නැත. මේ නිසා සාගරගේ කාර්යාලයේ පිටත සිටි අයට එය දැනුණේ මහා ඝෝෂාවක් ලෙසය.
මහින්ද ජාතික ලයිස්තුවෙන් එන්න සූදානම් වෙයි
ඒ අනුව පසුව පිරිස ඉහළ මාලයේ සිටි බැසිල් සමගද සාකච්ජාවක් සිදුකළේය. නමුත් එයද සාර්ථක නොවුණු නිසා බැසිල් සමග සාකච්ඡාවෙන් පසු දුමින්දලා පිටව ගියේ නාමයෝජනා අත්සන් නොකරය.
කෙසේවෙතත් අගහරුවාදා සවස වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා ගැටලුව විසඳාගැනීමට බැසිල්ට හැකි විය. ඒ, එස්එම්, ෂෙහාන් සහ බැසිල් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. ඒ අනුව වීරකුමාරට පණිවිඩයක්දී පසුදින නාමයෝජනා අත්සන් කරන්නට එන්නයැයි දැනුම් දීමක් කෙරිණ. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ගැන ගැටලුවක් පැන නැගී තිබුණි. දයාසිරිලා කුරුණෑගලට ඉල්ලා තිබු අපේක්ෂක සංඛ්‍යාව ලබා දීමට නම් පොහොට්ටුවෙන් කෙනෙකු ඉවත් විය යුතු විය. මෙය අගමැති මහින්දට දැනගන්නට ලැබුණි. “මම ජාතික ලැයිස්තුවෙන් එන්නම්. ඔන්න ඕක දීලා දාන්න…” මහින්ද බැසිල්ට කියාසිටියත් ඊට බැසිල් එකඟතාව පළකළේ නැත.
දයාසිරි සටන අරඹයි: මෛත්‍රී මූලස්ථානය සීල් තියයි
ඒ අනුව සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ දයාසිරි කෙලින්ම පිටත් වූයේ ඩාලිපාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයටය. ඒ යන අතරවාරයේදීම දයාසිරි ශ්‍රීලනිපය වෙන්ව තරග කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අඟහරුවාදා රාත්‍රී 7.00ට දේශපාලන මණ්ඩලය රැස්කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් දයාසිරි මෙසේ හදිසියේම දේශපාලන මණ්ඩලය රැස්කිරීමට තීන්දු කර ඇති බව මෛත්‍රිපාලටද දැනගන්නට ලැබිණ. ඔහු ඒ වන විට සිටියේ පොළොන්නරුවේය. ඒ අනුව මුලින්ම මෛත්‍රි කතා කළේ දයාසිරිට නොව ශ්‍රීලනිප මූලස්ථානයටය. ඒ අනුව දයාසිරිලා කරන්නට යන දේ පිළිබඳව වටහාගත් මෛත්‍රි මූලස්ථානයට දැනුම්දුන්නේ වහාම ඉබි යතුරු දමා කිසිවකුටත් ඇතුළු විය නොහැකි පරිදි මූලස්ථානය වසා දමන ලෙසටය. ඉන් අනතුරුව දයාසිරිටද කතා කළ මෛත්‍රි කිසිවක් නොදන්නා ආකාරයට දයාසිරිට කියා සිටියේ තමා මේ වන විට පොළොන්නරුවේ සිටින බවත්, දේශපාලන මණ්ඩල රැස්වීම රාත්‍රි 7.00ට පක්ෂ මූලස්ථානයේ නොව පැජට් පාරේ පිහිටි තමන්ගේ නිවෙසේ පැවැත්වීමට සූදානම් කරන ලෙසත්ය. තමාද ඊට සහභාගි වන බවද මෛත්‍රි එහිදී දයාසිරිට කියා සිටියේය.
අනාගත නායකයා දයාසිරි
ඒ අනුව දයාසිරි පක්ෂ මූලස්ථානයට යන විට පොහොට්ටුව සමඟ සාකච්ඡා අසාර්ථක වූ බව දැන සිටි මන්ත්‍රිවරුන්, ආසන සංවිධායකයන් විශාල පිරිසක් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට රැස්ව සිටියේ ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව දයාසිරි සමඟ සාකච්ඡා කිරීමටය. නමුත් මෛත්‍රි ඒ වන විටත් ගේට්ටුවලට ඉබි යතුරු දමා තිබුණු නිසා ඒ කිසිවකුටත් මූලස්ථානයට ඇතුළු වීමට නොහැකි විය. ඒ අනුව එතැන එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබූ අතර, අවසානයේදී දයාසිරි කළේ ඉබි යතුරු කඩා පක්ෂ මූලස්ථානයට පිරිස සමඟම ඇතුළු වීමට කටයුතු කිරීමය. එහිදී දයාසිරිට ආසන සංවිධායකවරුන්ගෙන් ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබීම විශේෂ සිදුවීමක් විය. ඇතැමුන් එහිදී “අපේ අනාගත නායකතුමාට ජයවේවා” යැයි කියමින් සටන් පාඨ කී අතර, ඇතැමුන් දයාසිරිට දැන්වත් පක්ෂ නායකත්වය භාරගෙන මේ පක්ෂය ඉදිරියට ගෙන යන ලෙස ඔහුට ප්‍රසිද්ධියේම ආරාධනා කළ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ සියල්ලන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද පක්ෂ මූලස්ථානයට ඇතුළු වූ දයාසිරි පළමුව කළේ එහි පළමු මහලේ පිහිටා ඇති පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට ආචාර කිරීමය. ඉන් අනතුරුව ඉහළ මහලේ සිය කාර්යාලය වෙත පැමිණි දයාසිරි උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරද්දී සියලු ආසන සංවිධායකවරුන් එක හඬින් කියා සිටියේ ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් දයාසිරි කීවේ රාත්‍රි 7.00ට මෛත්‍රි සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත හැකි යැයි කියාය.
සිරිසේනගේ ගෙදර වටලයි: ඇතුළත් කචල්
ඒ අනුව රාත්‍රි 7.00ට මෛත්‍රිගේ නිවෙසේ සාකච්ඡාව ආරම්භ කරන විට කිසිවකුත් නොසිතූ සිදුවීමක්ද සිදුවිය. ඒ, ආසන සංවිධායකවරුන් මෛත්‍රිගේ නිවෙස වට කිරීමය. ඒ අනුව ඇතුළේ සාකච්ඡාව පැවැත්වෙද්දී මෛත්‍රිගේ නිවෙස වටකොට සිටි ශ්‍රීලනිප ඇතැම් ආසන සංවිධායකවරුන් සජීවීව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ ලබාදෙමින් මෛත්‍රිට විරෝධය පළ කරන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, ඔවුන් කියා සිටියේ ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට තීන්දු කළ යුතු යැයි කියාය.
මේ ආකාරයට මෛත්‍රිගේ නිවෙසේ ඉදිරිපිට විශාල කලබැගෑනියක් සිදුවද්දී නිවෙස ඇතුළේ පැවැති සාකච්ඡාවද ඊට දෙවැනි නොවීය. ඊට හේතු වූයේ වැඩි නාමයෝජනා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා පොහොට්ටුව සමඟ විශාල සටනක දයාසිරි, දුමින්ද, ලසන්ත ඇතුළු කණ්ඩායම නිරතව සිටියදී, ඒ කිසිවකුට නොදන්වා හොර රහසේම ගොස් මෛත්‍රි නාමයෝජනා අස්සන් කිරීම පිළිබඳව දයාසිරිත්, දුමින්දත් දැඩිව විරෝධය පළකිරීම නිසාය. එහිදී ඔවුන් මෛත්‍රිගේ මුහුණටම කියා සිටියේ සියලු දෙනාම එක්ව එක් තීන්දුවක් ගෙන එකට අස්සන් කළේ නම් කිසිදු ගැටලුවක් නොමැති බවත්, කිසිවකුටත් නොදන්වා තනිවම ගොස් අස්සන් කිරීම කිසිසේත්ම පක්ෂ නායකයකුට සුදුසු නැති කටයුත්තක් බවත්ය. එය කිසිසේත්ම පිළිගත නොහැකි බවද දයාසිරිලා මෛත්‍රිගේ මුහුණටම කියා සිටියහ. ඒ අනුව ඔවුන් දැඩිව මෛත්‍රිට කියා සිටියේ වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය තීන්දු කළ යුතුය කියාය.
සිරිසේන කඩුව වනයි: දයාසිරිලා ගණන් නොගනී
නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෛත්‍රි එකහෙළාම ඊට විරෝධය පළ කරන ස්ථාවරයක සිටීමය. ඒ අනුව දෙපාර්ශ්වය අතර ඉතා දැඩි සංවාදයක් සිදුකෙරුණු අතර, අවසානයේදී මෛත්‍රි එකහෙලාම කියා සිටියේ තමන් පක්ෂයේ නායකයා බවත්, පක්ෂයේ බලය ඇත්තේ නායකයාට බවත්, වෙනම තරග කිරීම සඳහා තමන් කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බවත්ය. නමුත් මෛත්‍රිගේ එම විරෝධය තඹයකට මායිම් නොකළ දයාසිරි ඇතුළු කණ්ඩායම කියා සිටියේ මෙහි පාවාදීමක් සිදුව ඇති බවක් දැකගන්නට ලැබෙන බවත්, පොරොන්දු වූ ආකාරයට තම දිස්ත්‍රික්කවලට නාමයෝජනා ලබාදීමට පොහොට්ටුව කටයුතු නොකරන්නේ නම් තමන් ඊට අස්සන් නොතබන බවත්ය. එසේ වුවහොත් තම තමන්ගේ දිස්ත්‍රික්කවල වෙනම ශ්‍රීලනිප ලැයිස්තු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දයාසිරි ඇතුළු කණ්ඩායම එහිදී මෛත්‍රිට දැනුම් දී සිටියේය.
රාජපක්ෂලාත් සිරිසේනව ගණන් නොගනී
ඒ අනුව තත්ත්වය පාලනය කරගත නොහැකි බව වටහාගත් මෛත්‍රි අවසානයේදී කියා සිටියේ එසේ නම් තමන් පසු දින මහින්ද සහ බැසිල් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා තෙක් තීරණයක් නොගන්නා ලෙසය. නමුත් පසු දින උදෑසන සිටම මෛත්‍රි මහින්දටත්, බැසිල්ටත් ඇමැතුම් විශාල ප්‍රමාණයක් ලබාදුන්නද ඒ කිසිවකටත් ඒ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබෙන බවක් දැකගන්නට ලැබුණේ නැත. මෛත්‍රිට එසේ රාජපක්ෂවරුන් සම්බන්ධ කරගත නොහැකි වුවද දයාසිරි ඇතුළු කණ්ඩායම බදාදා දින බැසිල් සමඟ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කළහ. ඒ අනුව අනුරාධපුරයටත්, ගම්පහටත් වැඩිපුර එක් නාමයෝජනාවක් බැගින් ලබාදීමට බැසිල් එකඟතාවය පළ කළේය. එම එකඟතාවය ලැබීමත් සමඟ සටන අත්හල දුමින්දත්, වීරකුමාරත් අනුරාධපුර ලැයිස්තුවට අස්සන් තැබූ අතර, ලසන්ත ගම්පහ ලැයිස්තුවට අස්සන් තැබීමට කටයුතු කළේය.
දයාසිරි බෑම කියයි
නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ කුරුණෑගල ලැයිස්තුව සම්බන්ධයෙනි. කුරුණෑගලින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීම ඊට හේතුව විය. දැනටමත් කුරුණෑගල පොහොට්ටු ලැයිස්තුවෙන් ශ්‍රීලනිපයේ දයාසිරිටත්, ශාන්ත බණ්ඩාරටත් ඉඩ ලබාදී තිබූ නිසා තවත් ශ්‍රීලනිප අපේක්ෂකයකුට ඉඩක් ලබාදුනහොත් මනාප තුනම ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ලැබීමත්, ඉන් එක් මනාපයක් හෝ මහින්දට ලැබීමේ ඉඩකඩ අඩු වීමත් ඊට හේතුවී තිබිණ. අනෙක් අතට පොහොට්ටුවේ අපේක්ෂකයන්ට ලැබෙන මනාප ප්‍රමාණය අඩුවීමද ඊට එක් හේතුවක් විය. ඒ අනුව අවසානයේදී බැසිල් කියා සිටියේ අනෙකුත් දිස්ත්‍රික්කවලට ගැටලුවක් නොමැති වුවත් කුරණෑගල සම්බන්ධයෙන් විශේෂයක් කළ නොහැකි යැයි කියාය. නමුත් දයාසිරිද සටන අතහැරියේ නැත. ඒ වන විටත් වෙනම ලැයිස්තුවක් සකස් කරගෙන සිටි නිසා දයාසිරිද සිටියේ කුරුණෑගලින් ශ්‍රීලනිපයෙන් නාමයෝජනා තුනක් ලබාදිය යුතුය යන ස්ථාවරයේය.
බදාදා පොහොට්ටුවෙන් රතු එළියක් දයාසිරිට
කෙසේ වෙතත් බදාදා දහවල් දයාසිරිට පොහොට්ටුව පාර්ශ්වයෙන් බරපතළ පණිවුඩයක් ලැබිණ. ඉන් කියැවුණේ දහවල් දෙක වන විට කුරුණෑගල ලැයිස්තුවට අස්සන් කරන්නට දයාසිරි කටයුතු නොකරන්නේ නම් වෙනත් අපේක්ෂකයකුගේ නමක් දමා කුරුණෑගල ලැයිස්තුව භාරදීමට කටයුතු කරන බවකි. ලැබුණු ඒ බරපතළ පණිවුඩයට අනුව දයාසිරි වහාම කළේ තම සමීපතම හිතවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. ඒ අනුව අවසානයේදී ඔවුන්ද කියා සිටියේ පක්ෂ නායකයා වශයෙන් මෛත්‍රිපාල කර ඇති බරපතළ පාවාදීම හමුවේ තනිව සටන් කළ නොහැකි නිසා පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුවට අස්සන් කරන ලෙසටය. ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ මූලස්ථානයට තනිවම පැමිණි දයාසිරි අවසානයේදී ඊට අස්සන් තැබීමට පියවර ගත්තද ඔහුගේ මුහුණින් සතුටක සේයාවක්වත් පළ නොවීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය.
ජොනීගේ පාටියටත් නොයයි
කෙසේ වෙතත් නාමයෝජනා අස්සන් කිරීමෙන් පසුව දයාසිරි කෙළින්ම පැමිණියේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයටය. දයාසිරිගේ මේ කලකිරීම කොතෙක්ද යත් නාමයෝජනා ලබාදුන් රාත්‍රියේදී කුරුණෑගල ජොන්ස්ටන්ගේ නිවෙස් සංවිධානය කර තිබූ රාත්‍රි භෝජන සංග්‍රහයටද දයාසිරි සහභාගි වූයේ නැත. ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, ශ්‍රීලනිපය නියෝජනය කරමින් අනෙක් අපේක්ෂකයා වූ ශාන්ත බණ්ඩාර මහතාත්, සියලුම අපේක්ෂකයනුත් සහභාගි වී සිටියත් දයාසිරි ඊට සහභාගි නොවීමට වගබලා ගත්තේය.
සිරිසේනට ටිපෙක්ස් බියක්: පොලොන්නරුවට හෙලිකොප්ටරයක්
මේ අතර පොළොන්නරුවේ නාමයෝජනා ලබාදීමේදීද අපූරු සිදුවීමක් සිදුවිය. ඒ, පොළොන්නරු නාමයෝජනා ලැයිස්තුවෙන් තමන්ගේ නම අවසන් මොහොතේ හෝ ටිපෙක්ස් කරනු ඇති බවට මෛත්‍රිපාල තුළ විශාල බියක් මතුව තිබීමය. ඒ අනුව නාමයෝජනා අස්සන් කළ දින සිටම මහින්දටත්, බැසිල්ටත් විටින් විට පණිවුඩ තබමින් කරදරයක් වූ මෛත්‍රිපාල ඔවුන්ට කියා තිබුණේ සිය නම ටිපෙක්ස් කොට වෙන නමක් ඇතුළත් කිරීමට රොෂාන් රණසිංහ සැලැසුම් කොට ඇති බවකි. එවැන්නක් සිදු නොවන බවට මහින්දත්, බැසිලුත් කෙතරම් කීවත් මෛත්‍රිපාල එය පිළිගත්තේම නැත. ඒ අනුව අවසන් මොහොතේ පොළොන්නරු නාමයෝජනා ලැයිස්තුව භාරදීම සඳහා විශේෂ හෙළිකොප්ටරයක් වෙන්කරවාගෙන පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් පොළොන්නරු යැවීමට බැසිල් පියවර ගත්තේ ඒ අනුවය.
සමාජ ජාල කැළඹූ ඇමැති පුත්තු සහ ධම්මිකගේ දියණිය

පසුගිය සතියේ හිටිහැටියේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ පුවතකින් කියා සිටියේ ඇමෙරිකාවේ සිට විශේෂ ගුවන් යානාවක් ලංකාවට පැමිණීමට නියමිත බවත්, එම ගුවන් යානයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ගේ දූ දරුවන් ඇතුළු ඥාති පිරිස් සිටින බවත්, ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහාම ආණ්ඩුව මෙසේ අනෙකුත් ජනතාව ගැන නොසිතා විශේෂ ගුවන් යානාවක් යවා ඇති බවත්ය. මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පැතිර ගිය අතර, ඊට සුළු මොහොතකට පසු සමාජ මාධ්‍ය ජාලවල තවත් විශේෂ ඡායාරූපයක්ද සංසරණය වන්නට විය. එම ඡායාරූපයෙන් දැක්වුණේ සති දෙකකට ගුවන් තොටුපොළ වසා දමා තිබියදී හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීරගේ සහ මහින්දානන්ද අලුත්ගමගේගේ පුතාලා දෙදෙනා සමඟ ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතාගේ දියණියද මෙකී ගුවන් යානයෙන් ලංකාවට පැමිණ ඇති බවත්ය. ලංකාවට පැමිණි ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවක්ද එම ඡායාරූපයෙන් කියැවිණ.
දියණිය දාපු පෝස්ට් එක
ඒත් සමඟම සමාජ මාධ්‍ය ජාලවල ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව විශාල විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගන්නට හැකි විය. අපද ඒ අනුව වහාම මෙම කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා අදාළ ආයතනවලට දුරකතන ඇමැතුම් ලබාදී විමසා බලද්දී අපටත් දැනගන්නට ලැබුණේ මෙම පුවත අසත්‍යයක් බවය. ඇමෙරිකාවේ සිට ගුවන් යානයක් කටුනායකට පැමිණියද එය මගීන් නොමැති හිස් ගුවන් යානයක් බවද එහිදී වැඩිදුරටත් කියැවිණ.
කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාප්ත වීමත් සමඟ ලන්ඩනයේ සිටි එක්තරා තරුණියක්ද සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමට කටයුතු කළාය. ඒ අන් කවුරුවත් නොව ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතාගේ දියණියය. බි්‍රන්දිනි පෙරේරා වන ඇය ලන්ඩනයේ නයිට්ස් බි්‍රජ් ප්‍රදේශයේ ජීවත් වන අතර, විශේෂ සටහනකත් තබමින් ඇය කියා සිටියේ එම ඡායාරූපයේ සිටින්නේ තමන් නොවන බවය. එපමණක් නොව තවත් විශේෂ කරුණු කිහිපයක්ද ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කිරීමට අමතක නොකළාය. එහිදී ඇය කියා සිටියේ තමන් තවමත් ලන්ඩනයට වී සිය විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින බවය. එමෙන්ම මෙවැනි ඡායාරූප දුටු පමණින් බෙදාහැරීම සම්බන්ධයෙන්ද සටහනක් තබමින් ඇය කියා සිටියේ එවැනි ඡායාරූප බෙදාහැරීමට ප්‍රථම එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්නා ලෙසය. එමෙන්ම මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් රටක මතුව පැවතියදී සියල්ලන්ම කළ යුත්තේ නිවාස තුළට වී සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වීම බවත්, ජනතාව අවධානය යොමුකළ යුත්තේ මෙම වෛරසය ව්‍යාප්ත වීමට ඉඩකඩ නොතබා එකිනෙකාට උදව් උපකාර කරගැනීම බවත්ය.
කොළඹට එන රාජකීය මනාප සටන
මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රධාන පාර්ශ්ව තුනේ නාමයෝජනා ලැයිස්තුව දෙස බලන විට ඉතා විශේෂ ලක්ෂණයක් දැකගන්නට හැකිය. ඒ මෙවර කොළඹින් අංක 01 වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයන් තිදෙනකු තරග වැදී තිබීම නිසාය. එම තිදෙනා වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින කණ්ඩායම් නායක මෙන්ම එජාප නායකයාද වන රනිල් වික්‍රමසිංහ මහතාත්, සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින කණ්ඩායම් නායකයා මෙන්ම එහි නායකයාද වන සජිත් ප්‍රේමදාස මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් කොළඹට තරගවදින ලැයිස්තුවේ කණ්ඩායම් නායකයා වන දිනේෂ් ගුණවර්ධන මහතාත්ය. මේ තිදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයන් වීම හේතුකොටගෙන මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය මුල්කරගෙන රාජකීය මනාප සටනක් දැක බලාගැනීමට සියලු දෙනාට හැකි වනු ඇත.
හර්ෂ කල්තියාම ජෝකරයෙක් වෙයි

පසුගිය බදාදා දින සජිත්ගේ සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ආචාර්ය හර්ෂද සිල්වා මහතා හදිසියේම එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතට ගියේ එහි සිටි සියලු දෙනාම පුදුමයට පත්කරවමිනි. ඒ නිසා බොහෝ දෙනා සිතා සිටියේ හර්ෂ සජිත්ගෙන් ගැලවී රනිල්ට එකතු වීමට පැමිණ ඇතැයි කියාය. ඒ නිසාම ඒ මොහොතේම හර්ෂ සිරිකොතේ සිටින ඡායාරූපද සමාජ මාධ්‍ය ජාලවල එහා මෙහා සැරිසරන්නට විය. නමුත් ඒ මොහොතේ ඒ පිළිබඳව ඇසූ සියලු දෙනාටම හර්ෂ කියා සිටියේ තමන් රනිල්ගේ ආරාධනාව මත දේශපාලනයට පැමිණි බවත්, මේ නිසා පක්ෂයෙන් ඉවත් වීමට ප්‍රථම ඒ බව රනිල්ට දැනුම්දීම සඳහා තමන් පැමිණි බවත්ය. එමෙන්ම තමන් මෙතෙක් දැරූ එජාප භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බවත්, තමන් එදත්, අදත් කිසි දිනෙක රනිල්ව විවේචනය නොකළ බවත්, මින් ඉදිරියටද රනිල්ව විවේචනය නොකරන බවත් එහිදී හර්ෂ තවදුරටත් කියා සිටියේය.
නමුත් හර්ෂ මේ ආකාරයට සිරිකොතට පැමිණ තමන් කළගුණ දන්නා කෙනකු බව රටට, ලෝකයට පෙන්වීමට උත්සාහ කළත් හර්ෂට අමතක වූ එක් කාරණාවක් තිබිණ. ඒ බැඳුම්කර චෝදනාව එජාපයට එල්ලවද්දී එදා හර්ෂ රනිල් ඇතුළු එජාප ප්‍රබලයන් බොහෝ දෙනකුට බැඳුම්කර හොර ලේබලය ඇලවීමට කටයුතු කර තිබීමය. ඒ අනුව එදා හර්ෂලා රනිල්ලාට ගැහුවේ බැඳුම්කර හොරුන් යැයි කියාය. හර්ෂලා සජිත් සමඟ එකතු වූයේත් මේ බැඳුම්කර හොරු සමඟ එකට සිටින්නට නොහැකි යැයි කියාය. එදා එසේ රනිල්ලාට එළිපට ගැසූ හර්ෂ මෙදා රනිල් ළඟට ගොස් යළිත් කතා කිරීම සම්බන්ධයෙන් එදින සිරිකොතේ සිටි බොහෝ දෙනා කියා සිටියේ මේ ‘මිනිහාට නම් ලැජ්ජා නෑ’ යැයි කියාය. “එදා ලොක්කට ගහල ගහල දැන් බොරුවට මෙතැන ඇවිල්ල සුදනා වෙන්න හදනවා.” යනුවෙන් එහි සිටි පිරිස් හර්ෂට ඇහෙන්නම කියනු එහිදී දැකගන්නට ලැබිණ.
කෝටි 3000ක් ගිල්ල එජාප හිටපු ඇමැති කවුද
යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ ඊට විපක්ෂයෙන් ප්‍රධාන චෝදනා දෙකක් එල්ලවිය. ඉන් එකක් වූයේ බැඳුම්කර චෝදනාවය. දෙවැන්න වූයේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කෝටි 3000ක මුදලක් යටිමඩි ගසා ඇති චෝදනාවය. බැඳුම්කර චෝදනාවට මුල්වූවන් සම්බන්ධයෙන් මේ වන විට රටම දැනුවත්ව සිටියත් මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කෝටි 3000ක මුදලක් යටිමඩි ගැසූ එජාපයේ හිටපු අමාත්‍යවරයා පිළිබඳව තවමත් රටේ ජනතාව ඒ හැටි අවබෝධයක් නැත. මේ කියැවෙන්නේ එජාපයේ හිටපු ඒ අමාත්‍යවරයා සම්බන්ධයෙන්ය.
මෙම අමාත්‍යවරයා නියෝජනය කළේ නැඟෙනහිර පළාතය. ඒ අනුව ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු භාරදෙද්දී එය කොටස් 16කට කඩා කොන්ත්‍රාත්තරුවන් 16 දෙනකුට භාරදීමට පියවර ගෙන තිබිණ. එහි එක් කොන්ත්‍රාත්තුවක් ගත්තේ මේ කියන ඇමැතිවරයාය. ඒ අනුව අනෙකුත් කොන්ත්‍රාත්කරුවන් 15 දෙනාම යහපාලන ආණ්ඩු සමය නිමාවන විට තමන් භාරගත් කොටසින් වැඩි කොටසක් නිමාකර තිබුණද අවම වශයෙන් මේ එජාප අමාත්‍යවරයා භාරගත් කොටසේ පස් පිඩැල්ලක් හෝ කැපීමට ඔහු කටයුතු කර නොතිබීම විශේෂ සිදුවීමක් විය. එහිදී අනාවරණය වී තිබුණේ මෙම එජාප අමාත්‍යවරයා එම කෝටි 3000ක මුදලම යටිමඩි ගසා ගැනීමට කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් එවකට විපක්ෂය චෝදනා නඟද්දී එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා වූ ලක්මන් කිරිඇල්ල මහතාද මෙම කොන්ත්‍රාත්තුව භාරගත් එජාප අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බවද ආරංචි විය.
දයා කොළඹට පනිද්දී අම්පාරේ රතිඤ්ඤා දමයි

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා ලැයිස්තුව දෙස බලන විට එකම එක් පුද්ගලයකු හැරෙන්නට අනෙකුත් සියලු දෙනාම තම තමන්ගේ දිස්ත්‍රික්කවලින් තරග වැදීමට සූදානමින් සිටින බව දැකගන්නට තිබේ. එසේ අනෙකුත් සියලුම එජාප ජ්‍යෙෂ්ඨයන් සිය දිස්ත්‍රික්කවලින්ම තරග වැදීමට සූදානමින් සිටිද්දී දිස්ත්‍රික්කය මාරු කළ එකම එක එජාප ප්‍රබලයා වූයේ වෙන කවුරුවත් නොව හිටපු අමාත්‍යවරයකුද වන අම්පාරේ දයා ගමගේ මහතාය. ඒ අනුව දයා ගමගේ මහතා මෙවර තරග වදින්නේ තමන් මෙතෙක් නියෝජනය කළ අම්පාර වෙනුවට කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කෙසේ වෙතත් හිටි හැටියේම දයා තමන්ට සුපරුදු අම්පාර අතහැර කොළඹට ආවේ ඇයි? ඊට හොඳම පිළිතුර ලැබුණේ දයා කොළඹින් නාමයෝජනා අස්සන් කළ බවට තොරතුරු මාධ්‍ය මඟින් වාර්තා වීමත් සමඟ අම්පාරේ දයාගේ ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් හැසිරුණු ආකාරය දෙස බලන විටය. සාමාන්‍යයෙන් තමන් සමඟ මෙතෙක් කල් සිටි ජනතා නියෝජිතයකු සිය දිස්ත්‍රික්කය හැර යද්දී ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් දැඩි වේදනාවට පත්වීම සාමාන්‍ය දෙයක් වුවද දයා ගමගේ අම්පාර හැර යද්දී සිදුව තිබුණේ එහි අනෙක් පැත්තය. එනම් ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් අම්පාරේ ආසනයක් පාසා රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට ප්‍රකාශ කළ බවක් දැනගන්නට ඇත. ඒ අනුව මෙවර අම්පාරෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් නියත වශයෙන් පරදින බව හොඳින්ම දන්නා දයා ගමගේ හීන්සීරුවේ පැදුරටත් නොකියා කොළඹට පැන්න බවක්ද ආරංචිය.
ලොක්ඩවුන් ශ්‍රී ලංකා
කොරෝනා වෛරසය පළමුවරට චීනයේ වේගයෙන් පැතිර යද්දී චීනය එම තත්ත්වය වළකා ගැනීමට ගත් එක් පියවරක් වූයේ නගර සම්පූර්ණයෙන් වසා දැමීම හෙවත් “ලොක් ඩවුන්” කිරීමය. එතෙක් මේ නගර ‘ලොක් ඩවුන්’ කිරීම සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනකු දැන සිටියේ නැත. එමෙන්ම චීනයෙන් පිටත කොරෝනා වෛරසය භයානක ලෙස පැතිර යද්දී යුරෝපාකරයේ ප්‍රධාන රටවල් කිහිපයක්ම චීනය අනුගමනය කරමින් සිය නගර කිහිපයක්ම ලොක් ඩවුන් කිරීමට පියවර ගෙන තිබිණ. මේ නිසාමදෝ පසුගිය සතිය වන විට ශ්‍රී ලංකාවේ පැතිරයමින් තිබූ කොරෝනා වෛරසය නිසා භීතියට පත්ව සිටි ජනතාවද මේ ආකාරයට ලංකාවේ නගර කිහිපයක් ලොක් ඩවුන් කරන ලෙස ආණ්ඩුවට බලකිරීමට පටන්ගෙන තිබිණ. ඒ අනුව පසුගිය සතිය ආරම්භයේදී සමාජ මාධ්‍ය ජාලවල විශාල වශයෙන් ‘ලොක් ඩවුන් ශ්‍රී ලංකා’ යනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබුණු අතර, එය ශීඝ්‍රයෙන් ඉහළ යන ආකාරයක් දැකගන්නට ලැබුණේ ආණ්ඩුවේම මැති ඇමැතිවරුන්ද, ඔවුන්ගේ බිරියන්ද, ඔවුන්ගේ දරුවන්ද මෙම ‘ලොක් ඩවුන් ශ්‍රී ලංකා’ ප්‍රචාරක ව්‍යාපාරයට එක්ව සිටීම නිසාය. මීට අමතරව ඡන්දය කල් දමන ලෙසද වෙනම ෆේස්බුක් මෙහෙයුමක්ද දියත් කෙරී තිබුණු අතර, ඊටද බොහෝ දේශපාලන පක්ෂ නියෝජිතයන් පක්ෂව අදහස් දැක්වීමටද පියවර ගෙන තිබිණ. මේ නිසාම බොහෝ දෙනා සිතා සිටියේ සතිය මැද වන විට ආණ්ඩුව කොරෝනා වෛරසය පැතිර යන බවට අනතුරු අඟවා තිබූ නගර කිහිපයක්ම ‘ලොක් ඩවුන්’ කර වසා දමනු ඇතැයි කියාය.
විමල් දාපු පෝස්ට් එක

කෙසේ වෙතත් මෙම ‘ලොක් ඩවුන් ශ්‍රී ලංකා’ ප්‍රචාරක ව්‍යාපාරය, ගින්නට පිදුරු දැමූ කලක මෙන් ඇවිලී ගියේ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් පළ කළේ යැයි කියන පුවතත් සමඟය. විමල් පළ කර තිබුණේ යැයි කියන එම ෆේස්බුක් සටහනේ දැක්වුණේ, “කොරෝනා වෛරසය අපේම ඇතැම් අයගේ (ශ්‍රී ලාංකිකයන්ගේ) වගකීම් විරහිතව ක්‍රියාකිරීම හේතුකොටගෙන දැන් පැතිර යෑම පාලනය කිරීමට දැඩි තීන්දු ගත යුතුය. වහාම සති දෙකක කාලයකට රටේ සියලු කටයුතු අක්‍රිය කළ යුතුය. (අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක අංශවලින් සිදුකළ යුතුය) මැතිවරණවලට වඩා ජනතාවගේ සාමූහික පැවැත්ම අපට වැදගත්ය…” යැයි කියාය.
විමල්ගේ ෆේස්බුක් ගිණුමේ පළවූ බව කියන මේ සටහන ඒ සැණින් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවැති අතර, සියලු දෙනාම කියා සිටියේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ විමල් කියන මේ මතයට ආණ්ඩුව සවන් දිය යුතු යැයි කියාය. මෙම ෆේස්බුක් සටහනේ සත්‍ය අසත්‍ය බව කුමක්ද යන්න අප නොදන්නා නමුත් එම සටහනට පාඨක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබී තිබූ ආකාරයත්, ඊට විමල් පිළිතුරු ලබාදී තිබූ ආකාරයත් දැකගත හැකි විය. එසේ දී තිබූණේ යැයි කියන ඇතැම් පිළිතුරුවලින් කියැවූ තිබුණේ “හෙට උදේ බොහෝ විට ඒ තීරණය ගනීවි” යැයි කියාය. තවත් පිළිතුරක දැක්වුණේ “මගේ මතය මං ජනාධිපතිතුමාට කියල තියෙන්නෙ” යැයි කියාය. විමල් පමණක් නොව ඇතැම් ඇමැතිවරුන්ද පවතින තත්ත්වය යටතේ සති දෙකකට ඇතැම් ප්‍රදේශ අක්‍රිය කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවටද ඒ වන විට ආරංචි පැතිර යමින් තිබිණ.
ගෝඨාභය දුන් උත්තරය
ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සති දෙකකට ආණ්ඩුව සියලු වැඩකටයුතු නවත්වන ලෙසට නියෝග කරනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ආණ්ඩුව පවතින තත්ත්වය පිළිබඳව මැනවින් අධ්‍යයනය කොට තීන්දු කොට තිබුණේ දින 3ක නිවාඩුවක් ලබාදීමටය. නමුත් අත්‍යවශ්‍ය සේවා සහ බැංකු කටයුතු මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙනදා වැඩකටයුතු සිදුකරන ආකාරයටම ගෙනයෑමට ආණ්ඩුව එහිදී තීන්දු කර තිබිණ. එමෙන්ම අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා කොරෝනා සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකාය කැඳවූ අතර, එහිදී විමල් ඇතුළු ආණ්ඩුවේ ඇතැමුන් ගෙනගිය ‘ලොක් ඩවුන් ශ්‍රී ලංකා’ ව්‍යාපාරයට ජනාධිපතිවරයා තරමක ප්‍රහාරයක් එල්ල කරන ආකරයක්ද දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රටට යම් අර්බුදකාරී වාතාවරණයක් උද්ගත වූ විට නායකයන් ‘පැනික්‘ වී (බියවී) කටයුතු නොකළ යුතු බවත්, එසේ නායකයන් බිය වූ විට සියලු දෙනාම බියට පත්වන බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙසේ ‘ලොක් ඩවුන් ශ්‍රී ලංකා’ ප්‍රචාරක ව්‍යාපාරයට එරෙහිව අදහස් දැක්වීමෙන් පසුව බොහෝ දෙනකු විමල්ගේ ෆේස්බුක් පිටුවට ගොස් කලින් තිබුණේ යැයි කියන පණිවුඩය යළිත් සොයා බැලීමට කටයුතු කළද එවැනි පණිවුඩයක් එහි නොමැති බව බොහෝ දෙනාට පෙනී ගොස් තිබිණ. ඒ අනුව විමල්ගේ ෆේස්බුක් පණිවුඩයේ ඇත්ත නැත්ත කුමක්ද යන්න සම්බන්ධයෙන් යමක් කිව නොහැකි නමුත් විමල් මේ පුවත ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් හෝ සිදුකර නොතිබීම විශේෂ සිදුවීමකි.
අනුර පෑදුණූ පරණ පින
මේ සියල්ල අතරවාරයේ පසුගිය සඳුදා ‘දෙරණ 360’ වැඩසටහන සහභාගි වී සිටියේ අනුර කුමාර දිසානායකය. ජවිපෙ මෙවර මැතිවරණයට තරග වදින්නේ ‘ජාතික ජන බලවේගය’ පක්ෂයෙන් මාලිමාව ලකුණ යටතේය. කොරෝනා වෛරසය හේතුවෙන් ජවිපෙ මුල සිටම සිටියේ මැතිවරණය කල්දැමිය යුතු බවටත්, ආණ්ඩුව මෙම වෛරසය ව්‍යාප්ත වීම වළකාලීමට දැඩි පියවර ගත යුතු බවටත් යන ස්ථාවරයේය. ඒ අනුව අනුර ‘දෙරණ 360’ වැඩසටහනේ පළමු පැය තුළ දීර්ඝව විස්තර කළේද ජවිපෙ දැරූ එම ස්ථාවරයය. නමුත් ආණ්ඩුව එම ක්‍රියාදාමය පසෙකින් තබා තම බලය තහවුරු කර ගැනීමට අවස්ථාවාදී ලෙස කටයුතු කරන බවටත්, රටේ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු හැඟීමක් නොමැති බවටත් අනුර එහිදී පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ආණ්ඩුව දින 3ක නිවාඩුවක් ලබා දුන් බවට වූ ප්‍රවෘත්තිය දෙරණ මඟින් විශේෂ පුවතක් ලෙස ප්‍රචාරය කළේ මෙම 360 වැඩසටහන අතරතුරදීය. මෙම පුවතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ බැංකුද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලද වෙනදා පරිදිම ක්‍රියාත්මක බව කියැවිණ. මෙම පුවත ඒ මොහොතේම දෙරණ මඟින් ප්‍රචාරය වීම අනුර කුමාරට පරණ පිනක් හිසේ කඩා වැටුණා හා සමාන සිදුවීමක් සිදුවිය. ඊට හේතු වූයේ අනුර මෙතෙක් සිටි ස්ථාවරය ආණ්ඩුව ඒ මොහොතේම තහවුරු කර තිබීම නිසාය.
“දැන් බලන්න සෞඛ්‍ය අත්‍යවශ්‍යයි, ආහාර අත්‍යවශ්‍යයි, ප්‍රවාහන අත්‍යවශ්‍යයි, බැංකු අත්‍යවශයයි. දිසාපති කාර්යාල අත්‍යවශ්‍ය වෙන්න කවර කාරණාවක් නිසාද? පැහැදිලිද? නොමිනේෂන් ගන්න. මන් දැන් කලින් කියපු කතාව හරි නේද. මම කලින් කිව්ව මේ දින තුන දෙන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි නොමිනේෂන් ගන්න කියල. ආණ්ඩුව අනෙක් ඔක්කොම වහනව. දිස්ත්‍රික් කාර්යාල තියාගන්නවා. මොන තරම් කැත වැඩක්ද මේ ආණ්ඩුව කරන්නෙ. මෙවැනි පාලකයන්ගෙන් කෙසේද ජනතාව අසීරුතාවයට පත්වුණාම ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගනී කියල හිතන්නෙ.” යනුවෙන් එහිදී අනුර කියා සිටිනු දැකගත හැකි විය.
ජන්දය කල් යාම ගැන අපි කියලු අනාවැකිය
මහ මැතිවරණය ඉලක්ක කොටගෙන නාමයෝජනා භාරදීම අවසන් වූයේ පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යහනයේදීය. ඒ අනුව නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සවස මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මහ මැතිවරණය අප්‍රේල් 25 නොපැවැත්වෙන බවත්, එය කල් දැමීමට පියවර ගන්නා බවත්, පසුව මැතිවරණ පැවැත්වෙන දිනය ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බවත්ය.
මේ ආකාරයට මැතිවරණය කල් යන බව බ්‍රහස්පතින්දා දිනයේදී මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කළත් අප ඉකුත් අඟහරුවාදා (17දා) අප වෙබ් අඩවිය වූ www.mawratanews.lk වෙබ් අඩවිය මඟින් විශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ නියත වශයෙන්ම නාමයෝජනා භාරගැනීමෙන් පසුව ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට සැලැසුම් කර ඇතැයි කියාය. අප එදින පළ කළ එම පුවත මෙසේය.
“කොරෝනා වෛරසය හේතුවෙන් රට පුරා දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන මහමැතිවරණය කල් දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රට තුළ හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් මැතිවරණ නීතිය යටතේ උපරිම මාස 3ක කාලයකට මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාව තිබේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සෞඛ්‍ය අංශ සහ දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.
විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනටමත් විරෝධය පළ කොට ඇත.”
මෙන්න අලුත්ම අනාවැකිය
කෙසේ වෙතත් www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ පළ කළ පුවත තහවුරු කරමින් කොමිසම මේ වන විට මැතිවරණය කල් දැමීමට පියවර ගෙන ඇති අතර මැතිවරණය පැවැත්වෙන දිනය සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික හමුවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති බවක් දැනගන්නට තිබේ. ඒ අනුව මෙවැනි හදිසි තත්ත්වයක් යටතේ මැතිවරණ නීතිය අනුව මාස තුනකින් එය කල් දැමීමට කොමිසමට හැකියාව තිබේ. නමුත් ආණ්ඩුවේ සැලැසුම වී ඇත්තේ මාසයක් වැනි කාලයකට මැතිවරණය කල්දමා ගැනීමටය. එම මාසයක කාලය තුළ කොරෝනා වෛරසය පැතිර යෑමේ අවදානම අවම කර ගැනීම ආණ්ඩුවේ සැලැසුම වී තිබේ. නමුත් මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තවත් අනාවැකියක් පළ කිරීමට සූදානම්ය. ඒ අනුව අපට ඇති තොරතුරුවලට අනුව කියැවෙන්නේ මැතිවරණය මැයි මස 30 වැනි දින පැවැත්වීමට දැනටමත් සැලැසුම් සකස් කර ඇතැයි කියාය. නමුත් එය දැනට රහසක් වශයෙන් තබාගැනීමටද අදාළ පාර්ශ්වයන් තීන්දු කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
ජන්ද ප්‍රචාරක වැඩ අලුත්ම තාලෙකට
කෙසේ වෙතත් මෙවර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී විශාල වෙනසක් කිරීමට ආණ්ඩුව මේ වන විට විවිධ අත්හදා බැලීම් සිදුකරමින් සිටින බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම පැතිර යන කොරෝනා වෛරසය හමුවේ ජනතාව ඒකරාශි නොකොට අලුත් තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව අතර විශාල සාකච්ඡා පැවැත්වෙන බවත් එහිදී විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් වෙමින් පවතින බවත් දැනගන්නට ඇත. මේ ආකාරයට නවීන තාක්ෂණය භාවිතා කරමින් මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමටත්, ආණ්ඩුව සූදානමින් සිටින බවක්ද ආරංචිය.
දිනේෂ්ට කොරෝනා

පසුගිය සතියේ ආණ්ඩුව පමණක් නොව රටම කැළඹූ විශේෂ පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් සංසරණය වන්නට විය. එම පුවතින් කියැවුණේ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතාටද කොරෝනා රෝගය වැළඳී ඇතැයි කියාය. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරිනියකගේ ඥාතියකුට කොරෝනා රෝගය වැළදී තිබීමත්, එම නිලධාරිනිය විදේශ කටයුතු අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කොට ඇති බවටත්, තොරතුරු වාර්තා වීම මේ පුවතට හේතුවී තිබිණ. ඒ අනුව අන්තර්ජාල පුවත් වෙබ් අඩවි බොහොමයක මේ පුවත පළවීමත් සමග දිනේෂ්ගේ දුරකතනයටද ඉස්පාසුවක් නොවුණේ වැල නොකැඩී ඒ සම්බන්ධයෙන් විමසමින් ඇමැතුම් ලැබීමට පටන්ගෙන තිබීම නිසාය.
ඒ අනුව බැරිම තැන දිනේෂ් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තැබීමය.
“මේ දිනවල සමාජ වෙබ් අඩවියක් මා පිළිබඳ අසත්‍ය බොරු ප්‍රචාර යවමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් සිටිනවා. මා විදේශ අමාත්‍යවරාය හැටියටත්, කම්කරු අමාත්‍යවරයා හැටියටත් මගේ සම්පූර්ණ කාලය රාජකාරිවල නිරත වෙමින් කටයුතු කරමින් සිටින අතර, මැතිවරණ කටයුතුවලද නිරත වී සිටිනවා. ඔබ සැමට මේ කුමන්ත්‍රණකාරීන්ගෙන් මිදෙන්න නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා…” යනුවෙන් එහිද දිනේෂ් කියා සිටියේය.
තිස්සට ලැබුණු අලුත් තනතුර

තිස්ස අත්තනායක යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයාය. නමුත් 2015 ජනාධිපතිවරණයේදී තිස්ස පක්ෂය මාරු කර මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්විය. නමුත් 2019 ජනාධිපතිවරණයේදී තිස්ස උදව් කළේ සජිත්ටය. ඒ අනුව වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ බොහෝ කාර්යයන් සිදුකෙරුණේ තිස්සගේ අතින්ය.
තිස්ස එහිදී සැලැසුම් කළේ මහ මැතිවරණයට සජිත් සමඟ එක්ව තරග කිරීමටය. ඒ අනුව සජිත්ද තිස්සව මහ නුවරින් සමගි ජන බලවේගය යටතේ ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබීම නිසා තිස්ස කළේ මහයියාවේ සිය මැතිවරණ කාර්යාලය විවෘත කොට දිස්ත්‍රික්කය පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමය. නමුත්, සජිත්ද නොසිතූ ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම එජාප ප්‍රබලයන් සමගි ජන බලවේගය යටතේ තරග කිරීමට වැළ නොකැඩී පෙරට ඒමත් සමඟ අවසානයේදී අකමැත්තෙන් හෝ තිස්සට නාමයෝජනා ලබා නොදීමට සජිත්ට සිදුවිය. ඒ අනුව අවසානයේදී තිස්ස සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ සජිත් ඔහුගේ සහාය සම්පූර්ණ මැතිවරණයටම ලබාගත යුතු නිසාවෙන් තිස්සට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තනතුර භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඊට තිස්ස දෙවරක් නොසිතා එකඟතාව පලකිරීමත් සමඟ මහනුවර ලයිස්තුව සම්බන්ධයෙන් ඇතිවීමට ගිය විශාල අර්බුදයක් නිරාකරණය කර ගැනීමට සජිත්ට හැකි විය.
මයන්තට පවුලෙන් ආපු බලපෑම

මේ ආකාරයට මහනුවර තිස්සගේ ප්‍රශ්නය විසඳා ගැනීමත් සමඟ තවත් විශාල ප්‍රශ්නයකට මුහුණදීමට සජිත්ට සිදුවිය. ඒ මහනුවරින් ඒ වන විටත් නාමයෝජනා ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා හදිසියේම සජිත් මුණගැසීමට පැමිණ තමන්ට මෙවර මහ මැතිවරණයට තරග වැදීමට නොහැකි බව දැනුම්දීමත් සමඟය. මහනුවර නාමයෝජනා ලැයිස්තුව අවසන් කොට තිබියදී මයන්ත පැමිණ මෙවැනි කතාවක් කීමත් සමඟ සජිත්දගේද ඇස් උඩ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
“මම නුවරින් ඉල්ලන එකට විරුද්ධව අපේ පවුල ඇතුළෙන් මට ලොකු බලපෑමක් එනවා. ඒක මහ අසාධාරණ විදිහට සිද්ධ වෙනවා කියල තමයි මට තේරෙන්නෙ. සමහර වෙලාවට අපි හිතන්නෙ නැති අය ඇවිත් මට ඔබතුමා එක්ක එකතු වෙන්න එපා කියල බලපෑම් කළා. ඒ හින්ද මම හරිම කලකිරීමෙන් ඉන්නෙ. කොහොම වුණත් ආයිමත් රනිල්ගේ යූ.ඇන්.පී. එකට යන්න මගේ කිසිම අදහසක් නෑ. ඒ හින්දා මම තීන්දු කළා මේ වතාවේ මහ ඡන්දෙට ඉදිරිපත් නොවී ගෙදර ඉන්න. හැබැයි මම ඔබතුමාට මේ ඡන්දෙදි උදව් කරන එක නම් කිසිසේත්ම නවත්වන්නෙ නෑ” යනුවෙන් කියමින් මයන්ත ඉතා දීර්ඝ විස්තරයක් සජිත් ඉදිරියේ තැබීමට කටයුතු කළේය. මෙහිදී සජිත්ද මයන්ත සමඟ ඒ කී කරුණු පිළිබඳව දීර්ඝව අදහස් හුවමාරු කරගත් ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙහිදී එක් තැනක ඉතාමත් සංවේදී තත්ත්වයකට පත්වෙමින් මයන්ත කියා සිටියේ “මේ වෙලාවේ මගේ අම්මා මගේ ළඟ නැති එක ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා. අම්ම හිටිය නම් මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ…” යැයි කියාය.
එහිදී සජිත් මයන්තව අස්වසමින් කියා සිටියේ දේශපාලනය මුල්කරගෙන පවුල ඇතුළේ ගැටුම් ඇතිකර නොගන්නා ලෙසටය. කුමන තත්ත්වයක් යටතේ වුවද තමන් මයන්තව අත් නොහරින බවද එහිදී සජිත් මයන්තට සහතිකයක් දී සිටියේය.
සජිත් දුන් විසදුම

“ඔයා දේශපාලනය හින්ද මොනම තත්ත්වයක් යටතේ හරි පවුල ඇතුළෙ ප්‍රශ්න හදාගන්න එපා. මට ඔයාව ඕනෙ. අපේ තාත්තයි, ඔයාගෙ තාත්තයි අතර මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් අපි එදා ඉඳල අපේ හිතවත්කම් පවත්වාගෙන ආවා. මම ඉස්සරහට හදන ආණ්ඩුවක අනිවාර්යයෙන්ම ඔයා ඉන්නවා. ඔයා තමයි අපේ ආණ්ඩුවේ දිසානායක ලකුණ. ඒ හින්ද මම ඔයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේනවා. ඒ වගේම ඔයා මේ කැම්පේන් එකේදි මගෙත් එක්ක රටේ වටේම යන්න ලෑස්ති වෙන්න. අනිවාර්යෙන්ම මට ඉස්සෙල්ලා හරි මගෙන් පස්සෙ කතාව හරි කරන්න ඕනෙ ඔයා…” යනුවෙන් සජිත් කියද්දී මයන්ත ඊට එකඟතාවය පළ කළේය.
කැනහිල්ලු හෙළිදරව් කිරීමට අප සූදානම්
කෙසේ වෙතත් මෙහිදී මයන්තට මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙසට පවුල ඇතුළෙන්ම දැඩි බලපෑම් එල්ල වන බවට කළ දැනුම්දීමත් සමඟ අපිද මයන්තට බලපෑම් කරන එම පිරිස් පිළිබඳව සොයා බැලීමට කටයුතු කළෙමු. ඒ අනුව අපටද දැනගන්නට ලැබුණේ හීනෙන්වත් සිතීමට නොහැකි පිරිස් මයන්තට බලපෑම් කොට ඇති බවය. මේ මොහොතේ සදාචාරාත්මක හේතූන් මත අප ඒ නම් ගම් හෙළි කිරීමට කටයුතු නොකළද මැතිවරණයට පෙර ඒ නම් ගම් සියල්ල හෙළිදරව් කිරීමට අප සූදානම්ය. එවිට සිංහ හම් පොරවගත් ඇතැම් කැනහිලුන්ගේ එම සිංහ හම් ගැලවී යනු ඇති බව නම් නොඅනුමානය.
කපිල පුංචිමාන්නගේ










