අලිරාජා සුබාෂ්කරන් උගන්ඩාවෙන් මතුවෙයි!
මුස්ලිම් ඡන්ද නැතිකරගත් රනිල්ගේ තීන්දුව!
අද උතුරේ නයකයා එළියට!
ධම්මික යටට යයි!
අලිරාජාගේ අලි රැඟුම්
මේ දිනවල ලංකාවේ දේශපාලන කරළියේ රැඟුම් දක්වන ප්‍රධාන චරිතයක් බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අලිරාජාය. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයේ යෙදෙන හැම තැනකින්ම මේ කියන අලිරාජා සුබාස්කරන්ද මතුවීම නිසාය. යුද්ධය පැවැති කාලයේ නම් අලිරාජා සුබාස්කරන් යනු මේ රටේ ජනතාවට වේළුපිල්ලේ ප්‍රභාකරන් තරමට අපුල, දිරවන්නේ නැති චරිතයකි. ඊට හේතු වූයේ මේ කියන අලිරාජා සුබාස්කරන් දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරමින් යුද්ධයට අරමුදල් සැපයූ බවට එවකදී බරපතළ චෝදනා එල්ල වීමත්, ඔහු ප්‍රභාකරන්ගේ හිතවතකු බවට චෝදනා එල්ල වීමත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුදල් ජාත්‍යන්තරයේ ආයෝජනය කරන්නේ ඔහු බවටත් චෝදනා එල්ල වීමය. එවකදී විමල් වීරවංශ මහතා දිනපතාම පාහේ මාධ්‍ය හමු පවත්වමින් මේ කියන අලිරාජා සුබාස්කරන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සබඳතා පිළිබඳ රටටම අනාවරණ කිරීමට පියවර ගෙන තිබිණි. මේ නිසාම කාලයක් අලිරාජා සුබාස්කරන්ට ලංකාව තහනම් කලාපයක් වී තිබිණි. Sri Lanka Latest News
එසේ ලංකාව තහනම් කලාපයක් බවට පත්ව තිබූ අලිරාජා සුබාස්කරන් මේ වන විට හිටිහැටියේම ජනාධිපතිවරයාට සමීප පුද්ගලයකු බවට පත්ව සිටින්නේ කෙසේද? ජනාධිපතිවරයා යන යන තැනින් අලිරාජා සුබාස්කරන් මතුවන්නේ කෙසේද? එපමණක් නොව පසුගිය සතියේදී අලිරාජා සුබාස්කරන් මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවක්ද කියැවිණි. ඒ සමගම එම පාර්ශ්වයෙන් එය ප්‍රතික්ෂේප කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මීට අමතරව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කළ තොරතුරක් වූයේ අලිරාජා සුබාස්කරන් ලංකා හොස්පිට්ල් ආයතනය මිලදී ගැනීමට සූදානමින් සිටිනවා යැයි කියාය. එම ගනුදෙනුව ගැන ජනාධිපතිවරයා ලන්ඩනයේ සංචාරය කළ අවස්ථාවකදී සාකච්ඡා කිරීමට කටයුතු කළ බවක්ද එවකදී මාධ්‍ය වාර්තා කොට තිබිණි. ජනාධිපතිවරයාගේ මස්සිනා කෙනකු වන රුවන් විජයවර්ධන සහ ඔහුගේ සමීපතම හිතවතියක විසින් එම හමුව ලන්ඩනයේදී සංවිධාන කොට තිබූ බවද මාධ්‍ය වාර්තා කොට තිබිණි. නමුත් මේ වන විට කියැවෙන්නේ ලංකා හොස්පිට්ල් ආයතනය පමණක් නොව, ලංකාවෙ වටිනාම මෙන්ම ආරක්ෂාව අතින් අතිශය වැදගත් මර්මස්ථානයක් වන ටෙලිකොම් ආයතනයද අලිරාජා සුබාස්කරන් විසින් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි කියාය.
ඩොලර් ගේනවාද?
මේ ආකාරයට හදිසියේම අලිරාජා සුබාස්කරන් මේ මොහොතේ ලංකාවේ දේශපාලන කරළියේ ප්‍රබල මාතෘකාවක් බවට පත්වූයේ කෙසේද? පසුගිය කාලය පුරාම අපට දැකගන්නට ලැබුණු කාරණාවක් වූයේ ජනාධිපතිවරු බලයට පත්වූ වහා දෙමළ ඩයස්පෝරාවේ කවුරුන් හෝ චරිතයක් ලංකාවට ගෙන්වාගෙන ඔවුන් හරහා ඩයස්පෝරා අරමුදල් ලංකාවේ ආයෝජනය කළ හැකි බවට විශාල ප්‍රචාරයක් ගෙන යාමය. උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම නිමලන් විශ්වනාදන් නමැත්තකු ලංකාවට ගෙන්වාගෙන ලංකාවේ විදේශ ණය සියල්ලම එම පුද්ගලයා හරහා පියවිය හැකි බවට විශාල ප්‍රචාරයක් ගෙන ගියේය. නමුත් ඉන් පසු නිමලන් විශ්වනාදන් ගැන වචනයක් හෝ අසන්නට ලැබුණේ නැත. පසුව රනිල් බලයට පත්වූ පසු අලිරාජා සුබාස්කරන් පමණක් නොව තවත් දෙමළ ඩයස්පෝරා නායකයකු වන සුරේන් සුරේන්දිරන්ද ලංකාවට පැමිණියේය. ඔවුන් ලංකාවේ දැවැන්ත ආයෝජනයන් සිදුකිරීමට නියමිත බවට පුවත් පළවූවේය. නමුත් මේ දක්වා සිදුවූ ආයෝජනයක් නම් දැකගන්නට නැත. මොවුන් සියලු දෙනාම එල්.ටී.ටී.ඊ.යේ නම විකුණමින් අරමුදල් සොයමින් ඒ රටවල ජීවත් වූවා හැර වෙන යමක් කළ අය නොවේ. අලිරාජා සුබාස්කරන්ද එසේමය. මොවුන්ගේ අරමුණ වී ඇත්තේ ලංකාවේ ආයෝජනය කරනවාට වඩා මෙරට රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට මිලදී ගැනීමය.
ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමත් සමග සිදුකළ පළමු බි්‍රතාන්‍ය සංචාරයේදී රනිල් හා අලිරාජා සුබාස්කරන් අතර ඉතා රහසිගත හමුවක් සිදුවූ බව පළමුවරට රටට අනාවරණ කරනු ලැබුවේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසිනි. එම හමුවෙන් පසු ජනාධිපතිවරයා පසුගියදා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම යාපනයේ සංචාරයක නිරත වූ අතර, ඒ දිනවල අලිරාජාද යාපනයේ රැඳී සිටි බවට තොරතුරු මේ වන විට අනාවරණ වී තිබේ. නමුත් ජනාධිපතිවරයා හා අලිරාජා අතර සාකච්ඡාවක් පැවැති බවට ඡායාරූප නොමැති නමුත් ඔවුන් දෙදෙනා අතර යාපනයේදී හමුවක් සිදුවූ බවට අනුමාන කළ හැකි කරුණු රැසක් වාර්තා වී තිබේ.
අලිරාජාත් උගන්ඩාවේ
මෙහි ඇති අලුත්ම කතාව වන්නේ ස්විට්සර්ලන්ත සංචාරය නිමාකොට ජනාධිපතිවරයා උගන්ඩාව බලා පිටත්ව යද්දී මේ කියන අලිරාජා සුබාස්කරන්ද උගන්ඩාවට පැමිණීමට නියමිතව තිබූ බවට වූ ප්‍රවෘත්තියය. පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරය හරහා රාජපක්ෂවරුන්ගේ අතිශය සමීප පුද්ගලයකු ලෙස සැලකෙන උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වූ වේලුපිල්ලේ කනනාදන් යළිත් වතාවක් කරළියට පිවිසීමට නියමිත බවකි. මෙහිදී ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරය අතිඋත්කර්ෂවත් ලෙස සංවිධාන කරමින් සුවිශේෂ සංචාරයන් කිහිපයක්ම කනනාදන් විසින් දැනටමත් සූදානම් කොට ඇති බවද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට සූදානම් වන්නේ මේ කියන කනනාදන් විසින් සිදුකර ඇති තවත් කටයුත්තක් පිළිබඳවය. ඒ, ජනාධිපතිවරයාගේ උගන්ඩා සංචාරයට සමගාමීව අලිරාජා සුබාස්කරන්ටද උගන්ඩාවට පැමිණෙන ලෙස කනනාදන් විසින් ආරාධනා කිරීමක් ගැනය. අලිරාජා සුබාස්කරන් සැලකෙන්නේ කනනාදන්ගේ අතිශය සමීප හිතවතකු ලෙසටය. එහිදී ජනාධිපතිවරයා හා අලිරාජා සුබාස්කරන් අතර හමුවක් සංවිධාන කිරීමටද කනනාදන් සැලසුම් කර ඇතැයි පැවසේ.
මේ ආකාරයට ජනාධිපතිවරයා යන යන තැනින් අලිරාජා සුබාස්කරන් මතුවන්නේ කෙසේද? ඒ, කුමකටද? මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිර යාම නිසා අපිද ඒ සම්බන්ධයෙන් කිසියම් සොයාබැලීමක නිරත වීමු. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් අලිරාජා සුබාස්කරන්ගේ භූමිකාව ගැන අනුමාන කළ හැක්කේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හෙතෙම තිරය පිටුපස විශාල දේශපාලන ව්‍යාපෘතියක නිරත වෙමින් සිටින බවය.
අලිරාජාගේ සැලසුම
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඉතා තීරණාත්මක සාධකයක් ලෙස උතුරුකරයේ ඇති ඡන්ද ප්‍රමාණය සැලකේ. දකුණේ ඡන්ද හැරුණු විට බොහෝ දුරට ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වන්නේ උතුරේ මේ ඡන්දවලිනි. ඒ අනුව අලිරාජා සුබාස්කරන්ගේ සැලසුම වී ඇත්තේ උතුරුකරයේ මේ තියෙන ඡන්ද කුට්ටියේ තීරකයා බවට පත්වීමය. කලක් මේ ඡන්ද කුට්ටියේ තීරකයා බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. උතුරේ ජනතාව ඡන්දය භාවිත කළ යුත්තේ ප්‍රභාකරන් කැමැති දකුණේ අපේක්ෂකයාටය. ඒ අනුව මේ කියන උතුරේ ජනතාවගේ තීරකයා බවට පත්වීම සඳහා අලිරාජා සුබාස්කරන් මේ වන විට උතුර ඉලක්ක කරගෙන ව්‍යාපෘති රැසක් දියත් කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. සාමාන්‍යයෙන් උතුරේ සිටින තරුණ කොටස්වල ලොකුම හීනයක් වී ඇත්තේ යුරෝපයේ හෝ කැනඩාවේ රැකියාවක් කිරීමය. ඒ අනුව මේ දිනවල අලිරාජා සුබාස්කරන් විසින් උතුරේ රැගෙන යන එක් ප්‍රචාරයකින් කියැවෙන්නේ තමන් සමග හොඳින් සිටියහොත් විදෙස් රැකියාවකට යෑමට හෝ විදෙස් සංචාරයක නිරත වීමට අවස්ථාව දිය හැකි යැයි කියාය. එමෙන්ම උතුරේ දුප්පත් ජනතාව අතර ගොඩනගාගෙන යන තවත් මතයකින් කියැවෙන්නේ අසරණ දුප්පතුන්ට අලිරාජා සුබාස්කරන්ගෙන් ඕනෑම උදව්වක් ගත හැකි යැයි කියාය. මේ ආකාරයට දෙමළ ජනතාවගේ දුර්වලකම් හඳුනාගෙන ඒ හරහා සිය ප්‍රතිරූපය උතුරේ වර්ධනය කරගැනීමේ මෙහෙයුමක මේ වන විට අලිරාජා සුබාස්කරන් නිරත වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ.
ඒ හරහා අලිරාජා සුබාස්කරන් සූදානම් වන්නේ උතුරෙන් ඡන්දය ඉල්ලීමටද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අලිරාජා සුබාස්කරන් මේ සූදානම් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොව, තමන් නම්කරන දකුණේ අපේක්ෂකයාට ඡන්දය ලබාදෙන ලෙසට වූ මෙහෙයුමේ නිරතව සිටින බවය. ඊට සරිලන ආකාරයට අලිරාජා සුබාස්කරන් විසින් උතුර – දකුණ මුල් කරගෙන චිත්‍රපට පෙළක්ද නිෂ්පාදනය කිරීම සඳහා දැවැන්ත මුදලක් යෙදවීමටද සැලසුම් කර තිබේ. අලිරාජා සුබාස්කරන් පසුගිය කාලය පුරාම තමිල්නාඩු සිනමා කර්මාන්තය සමග සම්බන්ධ වී චිත්‍රපට නිෂ්පාදනය කිරීම හේතුකොට ගෙන තමිල්නාඩුවේ නළු නිළියන් රැසක්ද ඔහු සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනාගෙන සිටී. එමෙන්ම අලිරාජා සුබාස්කරන්ගේ සැලසුම වී ඇත්තේ මෙරට චිත්‍රපට නිෂ්පාදනයට මුදල් වියදම් කිරීම හරහා මෙරට ප්‍රකට ජනප්‍රිය නළු නිළියන් කණ්ඩායමක්ද තමන් වටා එකතු කරගැනීමටය. ඒ අනුව මේ සියලු සිදුවීම් දෙස බැලූ විට ජනාධිපතිවරයා යන යන තැන්වලින් අලිරාජා සුබාස්කරන් මතුවන හේතුව ගැන යම් අනුමානයක් ලබාගැනීමට අසීරුවක් නැත.
රනිල්ගේ සැලසුම?
මෙවර ජනාධිපතිවරණයේදී උතුරේ ප්‍රධානතම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ සහාය තමන්ට නොලැබෙන බව ජනාධිපතිවරයා හොඳින්ම වටහාගෙන ඇති කාරණයකි. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය හැරුණු විට උතුරේ අනෙක් පක්ෂවල සහාය ගෙන පලක් නොමැති බවද ජනාධිපතිවරයා නොදන්නවා නොවේ. ඒ අනුව අලිරාජා සුබාස්කරන් වැනි චරිතයක් හරහා උතුරේ ඡන්ද බාගැනීමේ සැලසුමක් ජනාධිපතිවරයා විසින් දියත් කරමින් සිටින්නේද යන්න පිළිබඳ විශාල සැකයක් මේ වන විට බොහෝ දෙනා තුළ මතුවෙමින් තිබේ. බොහෝ දෙනා සිතන්නේ අලිරාජා සුබාස්කරනුත් මෙම සෙල්ලම දැනගෙන ඊට අවශ්‍ය ආකාරයට සෙල්ලම් කරමින් සිටිනවා යැයි කියාය.
චන්ද්‍රිකාත් කැමැත්තෙන්
මෙහිදී දැකගැනීමට ඇති විශේෂ සිදුවීමක් වන්නේ අලිරාජා සුබාස්කරන් ලංකාවේ දැවැන්තම සිනමා තාරකාව වන විජය කුමාරතුංගයන් අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබීමය. එම චිත්‍රපටය නම්කොට ඇත්තේද ‘විජය’ ලෙසය. එහි විජයගේ චරිතය රඟපෑමට තෝරාගෙන ඇත්තේ විජයගේ ඥාතියකු වන ජනප්‍රිය නළු රන්ජන් රාමනායකය. එමෙන්ම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා විජයගේ බිරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින්ද මේ වන විට සිය අවසරය ලබාදී තිබීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව බොහෝ දෙනා කියන්නේ ජනාධිපතිවරණය කිට්ටු කොට මෙම ‘විජය’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ සැලසුමක් ඇති බවකි. ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණට යම් දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීම එහි යටි සැලසුම වී ඇති බවද පැවැසේ. පසුගිය කාලයේදී ජවිපෙට එල්ල වී තිබූ විශාලතම චෝදනාවක් වූයේ විජය කුමාරතුංග ජවිපෙ විසින් ඝාතනය කළ බවට වූ චෝදනාවය. චන්ද්‍රිකාද ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේද මේ බව කිහිප වතාවක් ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව අලිරාජා සුබාස්කරන් හරහා නිර්මාණය වන ‘විජය’ චිත්‍රපටයද ජනාධිපතිවරණය ඉලක්ක කොට දියත් කිරීමට නියමිත යම් දේශපාලන මෙහෙයුමක එක් කොටසක්ද යන්න පිළිබඳ මේ වන විට බොහෝ දෙනා තුළ සැකයක් මතුව තිබේ.
අපේක්ෂකයා ගජේන්ද්‍ර
මීට අමතරව ආණ්ඩුවේ පාර්ශ්වයන් උතුරේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන අලිරාජා සුබාස්කරන් හරහා සැලසුම් දෙකක් ක්‍රියාත්මක කරවා ගැනීමට සැලසුම් කරමින් සිටින බවක් දැකගන්නට තිබේ. ඉන් එකක් වන්නේ කෙළින්ම ජනාධිපතිවරණයේදී රනිල්ට ඡන්දය ලබාදෙන ලෙස අලිරාජා සුබාස්කරන් හරහා ප්‍රකාශ කරවීමය. දෙවැන්න වී ඇත්තේ පළමු උපක්‍රමය අසාර්ථක වුවහොත් උතුරෙන් වෙනම දෙමළ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමය. ඊටද මේ වන විට අපේක්ෂකයකු යෝජනා වී අවසන් බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම අපේක්ෂකයා වන්නේ වෙන කවුරුවත් නොව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යනු උතුරේ ප්‍රකට දේශපාලන චරිතයක් වූ කුමාර් පොන්නම්බලම්ගේ පුත්‍රයාය. නැතහොත් ජී.ජී. පොන්නම්බලම්ගේ මුණුපුරාය. උතුරේ ඡන්ද රනිල්ට නොවැටෙන තත්ත්වයක් යම් හෙයකින් මතුවුවහොත් ගජේන්ද්‍ර කුමාර් හරහා එම ඡන්ද දකුණේ වෙනත් අපේක්ෂකයකුට වැටීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බලන විට උතුරේ ඡන්ද බොහෝ විට වැටුණේ එජාපයටය. එසේත් නොමැති නම් එජාපයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයාටය. නමුත් මේ වන විට මතුව ඇති තත්ත්වය යටතේ උතුරේ ඡන්ද බොහෝ විට වැටෙනු ඇති බවට ලකුණු පහළ කොට ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසටය. දකුණේ සුළු පක්ෂ නායකයන් සියලු දෙනාම පාහේ සජිත් සමග සිටීමත්, උතුරේ ප්‍රධානම පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හා සජිත් අතර සමීප සබඳතාවක් තිබීමත් මේ සඳහා හේතු වී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් ඉදිරිපත් වන්නේ නම් ඔහුට ඇති ප්‍රබලතම අභියෝගය සහ තර්ජනය වී ඇත්තේ මේ කියන උතුරේ ඡන්ද සජිත්ට ගෙඩි පිටින් වැටීමය. එවැනි අවස්ථාවකදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැනි චරිතයක් උතුරේ අපේක්ෂකයා වශයෙන් පත්කොට සජිත්ට වැටෙන ඡන්ද ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් කැඩීම මේ පිරිසේ සැලසුම වී ඇති බවක් දැකගන්නට තිබේ. අලිරාජා සුබාස්කරන් වැනි චරිතයකට මේ මොහොතේ ටෙලිකොම් වැනි ලාභ ලබන දැවැන්ත සම්පතක් ලබාදීමට සූදානම් වන්නේ මේ මෙහෙයුම නිසාදැයි බොහෝ දෙනා සැක මතු කරන්නේ මේ හේතුව නිසාය. කෙසේ වෙතත් සැලසුම් කර ඇති පරිදි අලිරාජා සුබාස්කරන්ට ටෙලිකොම් ආයතනය මිලදී ගැනීමේ වටපිටාවක් සකස් වනු ඇද්ද යන්න මේ වන විට බරපතළ ප්‍රශ්නයක්ව තිබේ. ඒ, ඉන්දියාවේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලයක් හිමි අම්බානි සමූහයේ මුකේෂ් අම්බානිද ටෙලිකොම් ආයතනය මිලදී ගැනීම සඳහා ලන්සු තබා තිබීමය. ඒ කොයි හැටි වෙතත් මේ සියලු සිදුවීම් හරහා අලිරාජා සුබාස්කරන් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති කරවීමේ වැඩපිළිවෙළක නිරත වී සිටින බව නම් හොඳටම පැහැදිලිය.
උතුරේ නායකයා අද!
මේ අතරවාරයේ ඉරිදා (21) දිනයේදී දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා තෝරාගැනීමට නියමිතය. වත්මන් නායකයා වන ආර්. සම්බන්දන් මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුකොට ගෙන නව නායකත්වයක් ඊට පත්කර ගත යුතු බවට කාලයක් තිස්සේ ඉදිරිපත් වූ ඉල්ලීම් මත මෙසේ ඡන්ද විමසුමක් හරහා නව නායකයකු තෝරා ගැනීමට එම පක්ෂය සැලසුම් කොට තිබේ. ඒ සඳහා 325 දෙනකුට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවන අතර, එම්.ඒ. සුමන්තිරන්, එස්. ශ්‍රීධරන් සහ එස්. යෝගේශ්වරන් ඒ සඳහා තරග කිරීමට නියමිතව සිටිති. බොහෝ දෙනා කියා සිටින්නේ මෙහි වැඩි වාසිය සුමන්තිරන්ට හිමිවනු ඇති බවය.
කෙසේ වෙතත් දෙමළ සන්ධානයේ නායකත්වය සඳහා දුර්වල අයකු පත්කරගතහොත් අලිරාජා සුබාස්කරන් විසින් උතුරේ දියත් කර ඇති මෙහෙයුම් සාර්ථක කරගත හැකි බවට බොහෝ දෙනා මත පළකොට තිබීම නිසා ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග තිරය පිටුපස දියත් වෙමින් පවතින බවක්ද දැකගන්නට තිබේ. නායකත්වය සඳහා වන ඡන්ද සටනේ සුමන්තිරන් ඉදිරියෙන්ම සිටීම නිසා සුමන්තිරන්ට අතිශය සමීප හිතවතකු පසුගිය සතියේ දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී එම හිතවතා මුලින්ම සුමන්තිරන්ගෙන් විමසා ඇත්තේ, ‘ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාව පරද්දන්න විශාල මුදලක් මේ 325 දෙනාට පොම්ප වෙනවා කියලා?’ යැයි කියාය. එහිදී ඊට සිනාසෙමින් සුමන්තරන් කියා ඇත්තේ, ‘ඔව් මම ඒක දන්නවා. එහෙම එකක් තියෙනවා තමයි. හැබැයි මම හිතන්නේ නෑ මගේ සාමාජිකයෝ ඒ සල්ලිවලට යටවෙලා ඡන්දය පාවිච්චි කරයි කියලා. මට විශ්වාසයි මේ වීසි කරන සල්ලි අපරාධයක් වෙයි කියලා.’ යැයි කියාය.
ඉන් අනතුරුව මේ හිතවතා සුමන්තිරන්ගෙන් තවත් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියේය. ඒ, ‘සුමන්තිරන් පරාජයට පත්කිරීම සඳහා රනිල් මාර ගේම් එකක් ගහනවා නේද?’ යැයි කියාය. ඊටද සුමන්තිරන් පිළිතුරු දී ඇත්තේ සිනාසෙමිනි.
‘රනිල් මාත් එක්ක පේන්න නම් හරිම මිත්‍රයි. මම දන්නවා එයා ගේම් ගහන්නේ හිනාවෙවී කතා කර කර කියලා. හැබැයි ඉතින් එයා එහෙම එකක් කරයිද කියලා මම නම් දන්නේ නෑ’ යන්න සුමන්තිරන් එහිදී ලබාදී තිබූ පිළිතුර විය.
මුස්ලිම් ඡන්ද අවුල
උතුරේ දෙමළ ඡන්ද සම්බන්ධයෙන් රනිල්ට මෙවැනි තත්ත්වයක් මතුව පවතිද්දී මෙතෙක් රනිල්ට අත උඩ තිබූ එසේත් නොමැති නම් රනිල්ගේ පොකට්ටුවේ තිබූ තවත් ඡන්ද ලක්ෂ ගණනකට වූ ඇබැද්දිය මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට අප සූදානම්ය. ඒ මුස්ලිම් ඡන්ද සම්බන්ධයෙන්ය. මෙතෙක් එම මුස්ලිම් ඡන්ද රනිල්ට වාසිසහගත ලෙස පැවැතියද පසුගියදා රනිල් ගත් එක් තීන්දුවකින් මේ වන විට ඒ සියල්ල කණපිට පෙරළී අවසානයය. ඒ වෙන මොකක්වත් නොව රතු මුහුදේ ‘හූති’ කැරැලිකරුවන්ට විරුද්ධව සටන් කිරීම සඳහා නාවික හමුදා නෞකාවක් පිටත් කර යැවීමට තීන්දු කිරීමය. මෙහිදී හරි හෝ වේවා වැරැදි හෝ වේවා ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේදී මුළු ලෝකයම සිටින්නේ පලස්තීන මුස්ලිම් ජනතාව වෙනුවෙන් එක මතයකය. මුස්ලිම් ජනතාවද සිටින්නේ ගාසා තීරයේ මිනිස් සංහාරයක් සිදුවන බවට වූ මතයේය. නමුත් මේ සියලු දෙනාම පුදුමයට පත්කරවමින් ඇමෙරිකාව හා එක්ව රතු මුහුදේ හූති කැරැලිකරුවන්ට පහර දීම සඳහා නැවක් යැවීමට ගත් තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා හා ආණ්ඩුව සමග මෙරට මුස්ලිම් ජනතාව දැඩි විරෝධයකින් හා විශාල කලකිරීමකින් පසුවන ආකාරයක් දැකගන්නට පුළුවන.
සබි්‍ර කියපු කතාව
රතු මුහුදට නැවක් යැවීමට ගත් තීන්දුව මුල්කරගෙන මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බව කල් තියා වටහාගෙන සිටි ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම විදේශ අමාත්‍ය අලි සබි්‍ර හා තමන්ට හිතවත් මුස්ලිම් මැති ඇමැතිවරු මෙන්ම මුස්ලිම් නීතිඥවරුන් කණ්ඩායමක් සමගද මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අලි සබි්‍ර විසින් මෙවැනි තීන්දුවක් ගතහොත් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක දෙකක් ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවය. ඉන් පළමුවැන්න වී ඇත්තේ එසේ නැවක් යැවීම මූලික කොටගෙන හූති කැරැලිකරුවන් විසින් ලංකාවට එන භාණ්ඩ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළහොත් ලංකාවේ ආර්ථිකයට එය අහිතකර ලෙස බලපානු ඇතැයි කියාය. දෙවැන්න වී ඇත්තේ එම තීන්දුවට මුස්ලිම් සමාජයෙන් බරපතළ විරෝධයක් එල්ල වනු ඇතැයි කියාය.
සබි්‍රගේ මෙම අනතුරු ඇඟවීම ජනාධිපතිවරයාද සුළුකොට තැකුවේ නැත. මේ නිසා ඇඟ බේරාගෙන මෙම කටයුත්ත කිරීම සඳහා තමන්ට හිතවත් කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එහි මුල් පියවරක් ලෙස ජනාධිපතිවරයා මැදපෙරදිග සියලුම තානාපතිවරුන් කැඳවා ආණ්ඩුවට මුස්ලිම් රටවලින් එල්ල වීමට හැකි විරෝධය සමහන් කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ මෙම උත්සාහය අසාර්ථක වී ඇති බවය. ජනාධිපතිවරයා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට මැදපෙරදිග තානාපතිවරුන් ඉතා දැඩිව මෙම යෝජනාවට විරෝධය පළකොට ඇති බව දැනගන්නට ඇති අතර ගැටුම්වලින් පසු ජනාධිපතිවරයා ගාසා තීරයට පාසලක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළද ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ප්‍රතිචාරය එම තානාපතිවරුන්ගෙන් නොලැබුණු බවත්, ඔවුන්ගේ විරෝධය තවදුරටත් ඉහළ ගිය බවත් ආරංචිය.
ඒ අනුව තත්ත්වය බරපතළ බව වටහාගැනීමට ජනාධිපතිවරයාට වැඩි වෙලාවක් ගතවුණේ නැත. ඒ නිසාම අදාළ තීන්දුව ගැනීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව බැලන්ස් කරගත යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මුස්ලිම් මැති ඇමැතිවරු සමග තවත් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ රටේ ආර්ථිකය කඩාවැටී ඇති මොහොතක එය නගාසිටුවීමේ අරමුණෙන් මෙම තීන්දුව ගත් බව මුස්ලිම් ප්‍රජාවට ඒත්තු ගැන්විය යුතු යැයි කියාය.
එය අසීරු කාර්යයක් වුවද මේ මොහොතේ එම උත්සාහය දරන ලෙස ජනාධිපතිවරයා ඒ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. මන්ද යත් එය සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත් මුස්ලිම් ප්‍රජාවේ ප්‍රශ්නය මුල්කරගෙන සිය ජනාධිපති සිහිනය බොඳවී යෑමේ ලකුණු පහළ වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා වටහාගෙන සිටීම ඊට හේතුවය.
වතුකරය කොහොමද?
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ඡන්ද සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් මතුව තිබියදී එජාපයට වාසිසහගත වතුකරයේ තත්ත්වය කෙබඳුද? සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී වතුකරයේ ඡන්ද භාවිත වූයේ එජාපයට වාසිසහගතය. මීට වසර දහයකට දොළහකට පමණ කාලයකට ඉහතදී වතුකරයේ දිස්ත්‍රික්ක එජාපය ජයග්‍රහණය කළේ ඡන්ද ලක්ෂයකට වඩා වැඩි පරතරයක් කඩාගෙනය. නමුත් මේ වනවිට ඒ තත්ත්වය සහමුලින්ම කණපිට පෙරළී අවසානය. අද එජාපයට වතුකරයේ තිබූ ඒ වාසිසහගත තත්ත්වයට සම්පූර්ණයෙන්ම හිමිව ඇත්තේ වෙන කාටවත් නොව සමගි ජන බලවේගයටය.
මේ නිසාම ජනාධිපතිවරයා පසුගිය කාලයේදී වතුකරයේ සජබ ප්‍රබලයා වූ දිගම්බරම් මහතා තමාගේ පැත්තට නම්මා ගැනීම සඳහා මෙහෙයුම් රැසක් දියත් කොට තිබිණි. නමුත් ඒ සියල්ල අසාර්ථක වූයේ දිගම්බරම් දිගටම සජිත් සහ සජබ සමග සිටින බවට වූ දැඩි ස්ථාවරයේ සිටීම නිසාය. පසුව ජනාධිපතිවරයා සජබයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ වඩිවෙල් සුරේෂ් ආණ්ඩුවට ගෙන බදුල්ලේ දිස්ත්‍රික් සභාපතිකම් ලබාදී, කාර්යාල විවෘත කිරීමට අවස්ථාව ලබාදී වඩිවේල්ව ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම වතුකරයේ පොහොට්ටුවේ ප්‍රබලයා වූ තොණ්ඩමන් හා වඩිවේල් එකතු කිරීමේ මෙහෙයුමකද ජනාධිපතිවරයා නියැලෙමින් සිටී. ඊට හේතුවී ඇත්තේ මේ වන විට වතුකරයේ තොණ්ඩමන්ලාගේ බලය ශීඝ්‍ර ලෙස බිඳවැටෙමින් පැවැතීම නිසාය. නමුත් ජනාධිපතිවරයාගේ එම උත්සාහය සාර්ථක වී නොමැති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
මීට අමතරව වතුකරයේ ඡන්ද ඩැහැගැනීම සඳහා ජනාධිපතිවරයා ඊළඟට දියත් කිරීමට සූදානමින් සිටින මෙහෙයුම වී ඇත්තේ පර්චස් 10ක ඉඩමක් වතුකරයේ ජනතාවට ලබාදීමය. තොණ්ඩමන් හා වඩිවේල් හරහා මෙම ඉඩම් ජනතාවට ලබාදී ඔවුන් වතුකරයේ ශක්තිමත් කොට ඒ වාසිය ජනාධිපතිවරණයේදී තමන්ට ලබාගැනීම ජනාධිපතිවරයාගේ මෙම සැලසුමේ අරමුණ වී තිබේ. ඒ අනුව එහි පළමු කොටස දියත් කිරීම සඳහා මේ වන විට දින වකවානු පවා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති බව ආරංචිය. නමුත් එයද ඉතා අසීරු ඉලක්කයක් බවට පත්ව ඇත්තේ එසේ ලබාදීමට අවශ්‍ය රජයේ ඉඩම් හිඟ වීමය. එවැනි විශාල ඉඩම් පෞද්ගලික හිමිකරුවන් සතු වීමත්, ඒවා ලබාදීමට ඔවුන් අකැමැති වීමත් මත වතුකරයේ ජනතාවට ඉඩම් බෙදාදීම අසීරු ඉලක්කයක් බවට පත්ව ඇති බවක්ද ආරංචිය.
51%ක් තිබ්බොත් එනවා
මේ ආකාරයට ජනාධිපතිවරයා උතුරේ දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද සහ වතුකරයේ දෙමළ ඡන්ද සම්බන්ධයෙන් මෙතරම් උනන්දුවෙන් කටයුතු කරන්නේ ඇයි? මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතිශය සමීප ප්‍රකට ව්‍යාපාරිකයකු සමග පැවැති සාකච්ඡාවක් හරහා අපට ඊට හේතුව සොයාගත හැකි විය. මෙම ප්‍රකට ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා සමග කතාබස් කරමින් සිටියදී හදිසියේම වගේ විමසා ඇත්තේ ‘දැන් ඔබතුමා ජනාධිපතිවරණයට එන්න තීන්දු කරලා ඉවරද?’ යැයි කියාය. එහිදී රනිල් ඊට සිනාසෙමින් ලබාදී ඇති පිළිතුර වන්නේ, ‘මටත් ඒ ගැන තවම ප්‍රශ්නයක් තියෙනවා’ යැයි කියාය. එවිට ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාගෙන් එම ‘ප්‍රශ්නය මොකක්ද‘ කියා විමසද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ, අර ධම්මික පෙරේරා කියලා තිබුණේ එයාට 51%ක් ගන්න පුළුවන් වුණොත් විතරයි ජනාධිපතිවරණයට එන්නේ කියලා. මටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා.’ යැයි කියාය. එවිට ‘ඒ කියන්නේ 51% නැත්නම් එන්නේ නැද්ද?’ කියා ව්‍යාපාරිකයා නැවතත් ජනාධිපතිවරයාගෙන් විමසද්දී ඊට ජනාධිපතිවරයා උත්තර දුන්නේ වචනවලින් නොව, තමන්ට සුපුරුදු සිනහවෙන් යුතුවය.
කෙසේ වෙතත් අප මෙම කෙටි සංවාදය ‘රාජ්‍ය රහස්’ ඔස්සේ පළකළේ වෙන කුමකටවත් නොව, මේ සංවාදය තුළ ගැබ්ව ඇති විශාල පණිවුඩය තේරුම් ගැනීම සඳහාය. අප මුල සිටම කියා සිටියේ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවසන් මොහොත වන තෙක්ම පස්මහ බැලුම් බලමින් සිටිනවා යැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා ඡන්දයට නොඑන පැත්තට බරව සිටින බවද අපි එහිදී කියා සිටියෙමු. මන්ද යත් කොයි ආකාරයකින් හෝ ජනාධිපතිවරයා ලෙස පත්ව සිය අවසාන කාලසීමාවේදී ඡන්දයකින් පැරැදී කුජීත ලෙස ජාත්‍යන්තරයෙන් පවා කොන්වී දේශපාලනය අවසන් කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇති බවට වූ විශ්වාසය ඊට හේතුවය.
මත විමසුම් දෙකක්
අනෙක් අතට ජනාධිපතිවරයා මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මත විමසුම් දෙකක් සිදුකරන ලෙසට අතිශය ස්වාධීන ආයතන දෙකකට භාරදී තිබේ. ඉන් එකක් සම්බන්ධයෙන් අපට මේ මොහොතේ තොරතුරු කිව නොහැකි නමුත්, එය නිල වශයෙන් ඉතා රහසිගතව රට පුරා විහිදී ඇති ජාලයක් හරහා සිදුකෙරෙන්නක් බව පමණක් කිව හැකිය. අනෙක් මත විමසුම සිදුකරන කණ්ඩායම පිළිබඳ අප සියලු තොරතුරු දන්නා නමුත් ඔවුන්ට යම් ගැටලුවක් මතුවිය හැකි නිසා ඒ පිළිබඳ තොරතුරු මේ අවස්ථාවේදී හෙළි නොකරන බවද මෙහිදී සඳහන් කළ යුතුය. නමුත් ඔවුන් එහිදී තෝරාගෙන ඇති නියැදි මොනවාද, ඔවුන්ට ලබාදෙන ප්‍රශ්න මොනවාද යනාදිය පිළිබඳ තොරතුරුද අප සතුව තිබේ. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ ඉදිරි මාර්තු මස අග හෝ අප්‍රේල් මස මුල සතියේ මෙම ජනමත විමසුම් දෙකෙහි ප්‍රතිඵල සියතට ගැනීමටය. මේ හරහාද පැහැදිලි වන්නේ තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකිද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් වැට උඩ සිට සිතමින් සිටින බවය. ජනාධිපතිවරයාගේ වටේ සිටින පුද්ගලයන් නම් ජනාධිපතිවරයා සටනට එන බව කියමින් කොපමණ උඩ පැන්නත් අපට ඇති තොරතුරුවලට අනුව නම් ජනාධිපතිවරයා තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නැත.
ධම්මික යටයයි
මෙවැනි පසුබිමක් යටතේ පොහොට්ටුවේ ආශීර්වාදය ඇතිව ආණ්ඩුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස පසුගිය කාලසීමාවේදී ඉතා වේගයෙන් ඉහළට පැමිණියේ කෝටිපති ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාය. ධම්මිකගේ ඉදිරිපත් වීමත් සමග පොහොට්ටුව ඇතුළේද යම් පිබිදීමක් ඇතිවූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම රටම පිළිගත් ව්‍යාපාරිකයකු වීමත්, ආර්ථිකය පිළිබඳ යම් දැක්මක් තිබීමත් හේතුවෙන් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ද ධම්මිකට සමීපව කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.
නමුත් පසුගිය සතිය වන විට ධම්මික හිටිහැටියේම දේශපාලන කරළියෙන් අතුරුදන් වූ ආකාරයක් දැකගත හැකි විය. වෙනදා මාධ්‍ය හමුවේ දේශපාලන ප්‍රකාශ කළද පසුගිය සතිය වන විට ධම්මිකගෙන් කිසිදු දේශපාලන තොරතුරක් මාධ්‍ය ඔස්සේ හෝ වාර්තා කෙරුණේ නැත. ඒ අනුව බොහෝ දෙනා කියන්නට වූයේ ධම්මික ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවකි. ඒ අනුව අපද මේ පිළිබඳ සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මේ වන විට ධම්මික ජනාධිපතිවරණ සටනෙන් තාවකාලිකව ඉවත් වී සිටින බවකි. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බවට ආණ්ඩුව පැත්තෙන් හදිසියේම මතුවූ ප්‍රචාරක ව්‍යාපාරයය. ඒ අනුව ධම්මික උපායමාර්ගිකව ඊට ඉඩදී තාවකාලිකව පසුබැස සිටින ආකාරයක් මේ මොහොතේ දැකගත හැකිය. කෙසේ වෙතත් දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටියද ධම්මික සිය ඩී.පී. එඩියුකේෂන් ආයතනය හරහා සිසු දරුවන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීමේ වැඩපිළිවෙළ වේගවත් කර ඇති ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ඒ අනුව යම් හෙයකින් ජනාධිපතිවරණ සටනට පොහොට්ටුව හෝ එජාපය තවමත් අපේක්ෂකයකු නම්කොට නැති නිසා අවසන් මොහොතේ ඊට ඉදිරිපත් වීමේ ඉඩකඩ ඇතිව මෙසේ ධම්මික උපක්‍රමිකව පසුබා සිටිනවා විය හැකිය.
බැසිල් කල්දෙයි
මේ අතර, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිටින බැසිල්ද පසුගිය සතියේ පොහොට්ටු ප්‍රධානීන් සමග පැවැත්වූ සූම් සාකච්ඡා ගණනාවකදීම අවධාරණය කර තිබුණේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කිරීම සඳහා මාර්තු අග වනතෙක් ජනාධිපතිවරයාට කල් ලබාදීමට කටයුතු කළ යුතු බවය. නිල වශයෙන් මාර්තු අවසානය වන විට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ස්ථිර වචනයක් ලබා නොදුණහොත් නියත වශයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයකු ඊට ඉදිරිපත් කිරීමට බැසිල් සැලසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.
චන්ග් කියපු කතාව
පසුගිය සතියේ දේශපාලන කරළියේ පැතිර ගිය ලොකුම කටකතාව වූයේ ඇමෙරිකානු තානාපතිවරිය වූ ජූලි චන්ග් මහත්මිය විසින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලකයන් හමුවී රනිල්, සජිත්, මහින්ද එකතු විය යුතු බවට යෝජනා කර ඇතැයි කියන ප්‍රවෘත්තියය. එසේ නොවුණහොත් ඉදිරි මැතිවරණවලින් ජවිපෙ ජයග්‍රහණය කොට රට උතුරු කොරියාවක් විය හැකි බවට ඇය අනතුරු අඟවා තිබූ බවක්ද එම ප්‍රවෘත්තිවලින් වැඩිදුරටත් කියැවිණි. මෙම පුවතට විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන පිරිස් වීමද විශේෂත්වයකි. එමෙන්ම ජනාධිපතිවරයා රතු මුහුදේ හූති කැරැලිකරුවන්ට එරෙහිව නාවික හමුදාවේ නැවක් යැවීමට තීන්දු කළේද මෙම සාකච්ඡාවලින් අනතුරුව බවද එම පුවත්වලින් වැඩිදුරටත් කියැවිණි.
ඒ අනුව, අපද මෙම කතාවේ ඇත්ත නැත්ත සොයාබැලීමට පියවර ගත්තෙමු. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා විදෙස්ගත වීමට ප්‍රථම ඔහු මුණගැසී සාකච්ඡාවක් පැවැත්වීමට චන්ග් පියවර ගෙන තිබිණි. එමෙන්ම චන්ග් මේ දිනවල විදෙස්ගතව සිටින විපක්ෂයේ ප්‍රධාන නියෝජිතයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාවද හමුවී සාකච්ඡා පැවැත්වීමටද පියවර ගෙන තිබිණි. චන්ග් සහ ජී.එල්. අතර පැවැති සාකච්ඡාවේදී රනිල් සහ සජිත් එකතුවක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පැවැත්වී නොමැති නමුත් චන්ග් එහිදී එක්තරා විශේෂ කරුණක් ජී.එල්. හට අවධාරණය කොට තිබිණි. ඒ, ජනාධිපතිවරයාගේම ආර්ථික ප්‍රතිපත්තිය සජබය විසින්ද ක්‍රියාත්මක කරන්නේ නම් ඒ දෙකේම වෙනසක් නොමැති බවකි.
මේ බව අපද මීට පෙර වතාවකදී මෙම තීරය ඔස්සේම අවධාරණය කර සිටියෙමු. අප එහිදී කියා සිටියේ ජනාධිපතිවරයාගේ පීඩාකාරී ආර්ථික ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කිරීමට සජබය කටයුතු කරනවා නම්, ජනතාව එය පිළිගැනීමට කටයුතු නොකරනු ඇති බවකි. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ද පසුව පක්ෂයේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කොට තිබුණේ සජබ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට වඩා වෙනස් විය යුතු බවත්, ආණ්ඩුවට මෙන් නොව ජනතාව පිළිබඳ මානුෂීයව සිතාබලා ජනතා හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්ය.
මීට අමතරව චන්ග් පසුගිය සතියේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් සිදුකිරීමටද පියවර ගෙන තිබිණි. ඇය එහිදී සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු බව මෛත්‍රිට කියා ඇති බවක්ද ආරංචිය. එමෙන්ම නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ චන්ග් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින ධම්මික පෙරේරා මහතාද මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බවකි.
කෙසේ වෙතත් මෙම කටකතාව මේ ආකාරයට පැතිර යද්දී සජිත් පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ, කිසිසේත්ම සජිත් – රනිල් සන්ධානයක් ගොඩනොනැගෙන බවකි.
චන්ග් යනවා
මේ ආකාරයට චන්ග් සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවීම පිටුපසද විශේෂ කාරණයක් තිබේ. ඒ, වෙන මොකක්වත් නොව, චන්ග්ගේ නිල කාලය ඉදිරි සති කිහිපය ඇතුළත අවසන් වී යළි අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබීම නිසාය. මේ හේතුව මත පසුගිය දිනවලදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවට පත්කරන නව තානාපතිවරයා තෝරාගැනීම සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටද පියවර ගෙන තිබිණි. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දැනටමත් ඇමෙරිකාව විසින් ලංකාවේ නව තානාපතිවරයා තෝරාගෙන ඇති බවකි.
මේ සියලු හැලහැප්පිලි මැද විපක්ෂ නායක සජිත් පසුගිය සතියේදී දිස්ත්‍රික්ක මට්ටමින් සජබය ශක්තිමත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරනු ලැබීය. එහි ආරම්භක උත්සවය පැවැත්වුණේ මාතර මුල්කරගෙනය. ඒ අනුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාතරට කැඳවා දින තුනක් එහි රැඳී සිටිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට සජිත් කටයුතු කොට තිබිණි.
අයි.එම්.එෆ්-සජිත් හමුව
පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීටර් බෲවර් මහතා ප්‍රධාන කොටගත් කණ්ඩායමක් ලංකාවට පැමිණ ආණ්ඩුව සමග මෙන්ම විපක්ෂය සමගද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට පියවර ගත්හ. මෙහිදී ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවන් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පෙන්වා දී තිබුණේ ලංකාවේ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එහි ප්‍රධානී බෲවර් මහතා සතුටුදායක ප්‍රතිචාරයක් දක්වා තිබූ බවය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව බෲවර් ඇතුළු අයි.එම්.එෆ්. කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ. සජිත් එම සාකච්ඡාවට සහභාගි වූයේ තනිවම නොව, සජබයේ ආර්ථික විශේෂඥයන් වූ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සහ ආචාර්ය නාලක ගොඩහේවාද කැටුවය. මීට අමතරව තවත් විශේෂ පුද්ගලයකුද සජිත් සිය කණ්ඩායමට එක්කර ගත්තේය. ඒ, වෙන කවුරුවත් නොව යහපාලන ආණ්ඩුවේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුජීව සේනසිංහය. සුජීව මේ වන විට සජබය ඇතුළේ විශාල වැඩකොටසක් සිදුකරමින් තිබීම හේතුවෙන් ඔහුද එම සාකච්ඡාවට එක්කර ගැනීමට සජිත් පියවර ගෙන තිබිණි.
සජිත්ගේ කොන්දේසිය
කෙසේවෙතත් පීටර් බෲවර් ඉකුත් අවස්ථාවේ ලංකාවට පැමිණි මොහොතේදී සජිත් මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට අහිතකර සහ අසාධාරණ ලෙස බදු පැනවීම ඇතුළත් අයි.එම්.එෆ්. කොන්දේසි සංශෝධනය කරන බවට ප්‍රකාශයක් නිකුත් කර සිටියේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය පසුව පීටර් බෲවර්ගෙන් විමසද්දී ඔහුද කියා සිටියේ අවශ්‍ය නම් සාකච්ඡා කොට වගන්ති වෙනස් කිරීම සිදුකරගත හැකි යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් බෲවර් සහ සජිත් අතර සාකච්ඡාවක් පැවැත්වුණු බවක් දැකගන්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් මෙවර බෲවර් සහ සජිත් අතර පැවැති සාකච්ඡාවේදී සජිත් බෲවර්ගේ මුහුණටම කියා සිටියේ සජබ ආණ්ඩුවක් පැමිණි වහාම අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කිරීමට පියවර ගන්නවා යැයි කියාය. සජිත් ඍජුවම මෙය ප්‍රකාශ කිරීමත් සමග යම් කලබලයකට පත්වූ බෲවර් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සජිත්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගැනීම හේතුකොට ගෙන සාකච්ඡාව තරමක් උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. සජිත් එහිදී පැහැදිලිවම කියා සිටියේ තමන්ද දිගටම අයි.එම්.එෆ්. වැඩපිළිවෙළේ ඉදිරියට යන නමුත් එහි ඇති ජනතාවට අහිතකර වගන්ති රැසක් සංශෝධනය කිරීමට පියවර ගන්නවා යැයි කියාය. ඒ අනුව වහාම බෲවර් සජිත්ගෙන් විමසා සිටියේ ඒ කුමන වගන්තිදැයි කියාය.
‘මේ ආණ්ඩුව බදු ගහලා තියෙන්නේ අසාධාරණ විදියට. පෝසතුන්ට බදු ගහන්නේ නැතුව දුප්පත් මිනිස්සුන්ට තමයි බදු ගහලා තියෙන්නේ. ඇහුවාම කියන්නේ අයි.එම්.එෆ්. එක කියන හින්දා අපි බදු ගැහුවා කියලා. හැබැයි අපි ඒ වගන්තිය වෙනස් කරනවා. අපි අසරණ ජනතාව මත පටවලා තියෙන බදු බර අයින් කරන්න පියවර ගන්නවා. ඒ වෙනුවට මුදල් සෙවීමේ විකල්ප ක්‍රියාමාර්ග අප සතුව තියෙනවා.’ යනුවෙන් සජිත් සිය ආණ්ඩුවක් යටතේ වෙනස් කරනු ලබන වගන්ති පිළිබඳ බෲවර්ට පැහැදිලි කර දුන්නේය.
අනතුරුව බෲවර් සජිත්ගෙන් විමසා සිටියේ ඔහුගේ සහ සජබ රජයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ය. ඊට පැහැදිලිවම පිළිතුරු දුන් සජිත් කියා සිටියේ තමන් මානුෂිකවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා යැයි කියාය. සජිත් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමෙන් පසුව සජිත්ගේ ආර්ථික විශේෂඥයන් වූ හර්ෂ, කබීර්, ඉරාන් සජිත්ගේ ස්ථාවරයේ සිටිමින්ම සජබ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ක්‍රියාත්මක කරන ආකාරය බෲවර් ඇතුළු අයි.එම්.එෆ්. නියෝජිතයන්ට පැහැදිලි කර දුන්හ. එහිදී සුජීවද ඊට මැදිහත්ව ඔහු සතු අත්දැකීම්ද පිරිසට පැහැදිලි කිරීමට පියවර ගත්තේය.
සුජීව තිතට කියයි
‘ජනතාව හැම තිස්සෙම ආණ්ඩුවකින් මොකක් හෝ සහනයක් බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක අපට ජනතාවට සහන දෙන්න බැරි වුණත් ඒකට මොකක් හරි ඉඩක් හදාගන්න අපි දැනගන්න ඕනේ. ඒ විකල්ප ක්‍රියාමාර්ග අපට තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම විකල්ප ක්‍රියාමාර්ගයක් නෑ. මේ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය විකුණන එකයි බදු ගහන එකයි විතරයි. රටට ආයෝජන ගේන කිසිම ප්ලෑන් එකක් මේ අයට නෑ. මෙහෙම බදු ගහලා මේ රට කොච්චර කල් දුවන්නද? දැනටමත් මේ බදු ගැහිල්ලෙන් කර්මාන්ත විශාල ප්‍රමාණයක් වැහිලා. ව්‍යාපාර කරන්න විදියක් නෑ. ඒ නිසා මේ විදියට රටට ඉදිරි ගමනක් නෑ. මම ආයෝජන ඇමැති විදියට ඒ කාලේ ආයෝජන සැලසුමක් ඇතිවයි වැඩ කළේ. අපි රටට කර්මාන්ත ගෙනාවා. කර්මාන්ත කලාප ඇතිකළා. රටට ඩොලර් ගේන මාර්ග හැදුවා. මේ ආණ්ඩුව මේ වෙනකල් මොනවද කරලා තියෙන්නේ?’ යනුවෙන් සුජීව දැඩිව කියා සිටිද්දී සියලු දෙනා නිහඬව ඊට කන් දුන් ආකාරයක් දැකගත හැකි විය.
සජිත්ගෙන් ප්‍රශ්නයක්
සාකච්ඡාවේ හොඳම හරිය පැමිණියේ ඉන් අනතුරුවය. ඒ, ආර්ථික කරුණු සහ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සජිත් බෲවර්ගෙන් විමසා සිටි ප්‍රශ්නයක් නිසාය. එහිදී සජිත් විමසා සිටියේ බෲවර් කුමන පාසලකින් ආර්ථිකය සම්බන්ධයෙන් අධ්‍යාපනය හැදෑරුවාද කියාය. ඊට පිළිතුරු දුන් බෲවර් කියා සිටියේ තමන් ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ‘ආයතනයෙන් අධ්‍යාපනය හැදෑරූ බවකි. සජිත් එහිදී කියා සිටියේ තමන්ද අධ්‍යාපනය ලැබුවේ එම පාසලෙන්ම යැයි කියාය. ඒ අනුව බෲවර් පුදුමයට පත්ව ඒ පිළිබඳ තොරතුරු විමසද්දී බෲවර් සජිත්ට වඩා අවුරුදු කිහිපයකට පෙර එහි අධ්‍යාපනය ලබා තිබූ ජ්‍යෙෂ්ඨයකු බව හෙළි විය. ඒ අනුව දෙදෙනාම පාසල් පරිසරය සහ එහි ගතකළ ජීවිතය සම්බන්ධයෙන් ඉතා සුහදව අදහස් බෙදාහදාගත් ආකාරයක් දැකගත හැකි විය.
අනතුරුව සජිත් බෲවර්ගෙන් විමසා සිටියේ ඔහු ජර්මනියේ කුමන පළාතේ උපත ලැබූවෙක්දැයි කියාය. ඊට පිළිතුරු දුන් බෲවර් කියා සිටියේ තමන් ජර්මනියේ මයින්ස් පළාතේ උපත ලැබූවකු බවය. පසුව සජිත් කළ ප්‍රකාශයත් සමග බෲවර් පුදුමයෙන් පුදුමයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. සාමාන්‍යයෙන් ජර්මනිය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාපන්දු ක්‍රීඩාවටය. ඒ අනුව සජිත් ඒ මොහොතේම බෲවර්ගේ මයින්ස් පළාතෙන් ජර්මන් ජාතික පාපන්දු පිලට තේරීපත්ව ක්‍රීඩා කළ ප්‍රකට ක්‍රීඩකයන් ගණනාවකගේම නම් එකින් එක කියාගෙන යෑමට පියවර ගත්තේය. තමන්වත් දැන නොසිටි මෙම තොරතුරු නිසා බෲවර් අතිශය විමතියට පත්ව සිටි ආකාරයක් එහිදී සියලු දෙනාටම දැකගත හැකි විය. ඒ සමගම ආරම්භක අවස්ථාවේදී උණුසුම් වූ සාකච්ඡාව ඉතා සැහැල්ලුව සහ සුහදශීලී තත්ත්වයකට පත්වන ආකාරයක් දැකගත හැකි විය.
මත විමසුම් ප්‍රතිපල
කෙසේ වෙතත් මෙම ආගිය තොරතුරු හමුවේ අවසානයේ තවත් එක් විශේෂ පැනයක් විමසා සිටීමට බෲවර් පියවර ගත්තේය. ඒ, මේ වන විට සිදුකර ඇති මත විමසුම්වලදී සජබය සිටින ස්ථානය සම්බන්ධයෙනි. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් සජිත් කියා සිටියේ තම රජයක් යටතේ තවදුරටත් ආධාර උපකාර කිරීමට කටයුතු කරන ලෙසත්, එහිදී තමන් මත විමසුම්වල ප්‍රතිඵල රටටම පෙන්වන බවත්ය. සජිත් මෙසේ කියා අවසන් වනවාත් සමගම තවදුරටත් එය පැහැදිලි කිරීමට කටයුතු කළේ සුජීවය.
‘මත විමසුම් කරන්න දෙයක් නෑ, ඊළඟ ඡන්දෙන් දිනන්නේ සජබය. මොකද දැන් මේ රටේ තනියම ආණ්ඩු හදන්න බෑ. අනිවාර්යයෙන්ම සන්ධානයක් හරහා තමයි ආණ්ඩු පිහිටුවන්න වෙන්නේ. සන්ධානයට එකතු වෙන ප්‍රමාණය අනුව අපට කියන්න පුළුවන් ඡන්දය දිනන්නේ කවුද කියලා. ඒක තමයි හොඳම මත විමසුම. අපේ සන්ධානයට දැන් ලොකු රැල්ලක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ එන හැම කෙනාම අපේ සන්ධානයට එකතු කරගන්න බෑ. මොකද ඒ සමහරුන්ට දූෂණ චෝදනා තියෙනවා. ඒ චෝදනා තියෙන කිසිම කෙනෙක් අපේ සන්ධානෙට ගන්නේ නෑ. හැබැයි මේ වෙද්දී අපිත් එක්ක එකතු වෙන්න මන්ත්‍රීවරු 25කට වඩා සූදානමින් ඉන්නවා. ඒ වගේම පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකතු වෙන්න එකඟතාව පළකරලා තියෙනවා. ඒකෙ අදහස තමයි ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ අපි කියන එක. ඒ නිසා ඊළඟ සැරේ ලංකාවට එද්දී අපේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න හිත හදාගෙන එන්න.’ යනුවෙන් සුජීව එහිදී කියා සිටියේය.
ජවිපෙත් හමුවෙලා
මේ සාකච්ඡාවෙන් අනතුරුව සජබය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි කතාබහට ලක්වූ යම් යම් කරුණු පිළිබඳ රට දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඊට අදාළ ඡායාරූපද මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරිණි. කෙසේ වෙතත් එම සාකච්ඡාවට පැය කිහිපයකට පසු අයි.එම්.එෆ්. නියෝජිත කණ්ඩායම ජවිපෙ සමග ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ බව බොහෝ දෙනා දැනගත්තේද එවැන්නක් සිදුවූ බවට කෙටි නිවේදනයක් සහ ඡායාරූප කිහිපයක් ජවිපෙ මගින් මාධ්‍යයට නිකුත් කිරීමත් සමගය. එම සාකච්ඡාවට පක්ෂ නායක අනුර සහභාගි වී නොසිටි අතර, පක්ෂය වෙනුවෙන් ඊට එක්වී සිටියේ හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති සහ තවත් කිහිප දෙනෙක් පමණි. නමුත් එහිදී සාකච්ඡාවට ලක්වූයේ මොනවාද යන්න පිළිබඳ කිසිදු සඳහනක් මෙම මාධ්‍ය නිවේදනයේ නොතිබුණු නිසා එහිදී සාකච්ඡාවට බඳුන් වූයේ මොනවාද, අයි.එම්.එෆ්. ප්‍රතිපත්ති ජවිපෙ එකඟතාව පළ කළාද, ජවිපෙ සහ අයි.එම්.එෆ්. අතර කිසියම් එකඟතාවක් ඇතිවූවාද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දැනගැනීමට නැත. ඒ අනුව එම සාකච්ඡාව අවසන් වී තිබුණේ රටට ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරමිනි. පහත දැක්වෙන්නේ ජවිපෙ විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයය.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි වූහ.