පාර්ලිමේන්තු නිල ලාංජනය යටතේ වැරදි ‘ට්විටර්’ පණිවුඩයක් යොමු කර ඇති බවට විපක්ෂය අද (10) දහවල් ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් විය.
මෙහිදී පළමුවෙන්ම ප්රශ්නය මතු කරමින් හරීන් ප්‍රනාන්දු මහතා ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු නම සහ ලාංජනය යටතේ ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කොට ඇති බවත්, එය චරිත හේරත් මහතාට ටැග් කොට ඇති බවත් කියා සිටියේය.
ඒ සමගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ප්‍රශ්නයට මැදිහත් වෙමින් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊට වගකිවයුතු බවත්, වහාම එම වැරදි පණිවුඩ නිකුත් කළ පුද්ගලයන්ගේ නම් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් කියා සිටියේය.
මෙම ප්‍රශ්නයට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වීමත් සමග තත්ත්වය තවත් උණුසුම් වන ආකාරයක් දැකගන්නට ලැබිණ.










