එල්ෆින්ස්ටන් රගහල අසලින් ආරම්භ වූ විපක්ෂයේ විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ වීම වැළැක්වීම සදහා පොලිසිය ඊයේ දිනයේදී අලුයම් කාලයේ සිටම විශාල මෙහෙයුමක් දියත් කොට ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
ඒ අනුව විවිධ පිරිස් ලවා විපක්ෂනායකවරයාට බලපෑම් කිරීමට අමතරව විපක්ෂනායකවරයාට ආමන්ත්‍රණය කරමින්ම විරෝධතාවට එක් නොවන ලෙස දැනුම් දෙමින් ලිපියක් යොමු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.
මෙම ලිපියේ සදහන්ව ඇත්තේ අදාළ විරෝධතාව නීති විරෝධී එකක් බැවින් විපක්ෂනායකවරයා ඊට සහභාගී නොවිය යුතු බවකි.
ඒ අනුව මෙම ලිපිය ලැබී මොහොතකට පසු සජබ මන්ත්‍රීවරුන් රැස්වී මෙම විරෝධතාවයට විපක්ෂනායකවරයා සහභාගී විය යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කොට තිබේ.
එහිදී මෙය පක්ෂයක් විසින් නොව විවිධ පාර්ශ්ව එකතු වී සංවිධාන කරන්නක් බැවින් විපක්ෂනායකවරයා ඊට සහභාගී විය යුතු නැති බවට ඇතැම් මන්ත්‍රීවරුන් සදහන් කොට ඇත.
නමුත් විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව මර්දනය දියත් කරමින් සිටියදී තමන්ට විපක්ෂනායකවරයා වශයෙන් පසෙකට වී සිටිය නොහැකි බවකි. එමනිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමන්ද ඊට එක්වන බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දී ඇත.
කෙසේවෙතත් මේ වනවිට විපක්ෂනායකවරයාට අදාළ විරෝධයට සහභාගී නොවන ලෙසට පොලිසිය මගින් නිකුත් කළ ලිපිය මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.













