හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාවක් තුළ විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට සහතික වීම නිසා එම නෞකාව වහාම වරාය පරිශ්‍රයෙන් ඉවත් කර ගන්නා ලෙසට පරමාණුක බලශක්ති නියාමන සභාව විසිනි නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.
පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් ප්‍රකාශ කර සිටියේ නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් තිබු බහාලුම් ප්‍රවාහන නෞකාවක ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එම නෞකාව අලුත්වැඩියාවට ලක් කිරීමට හම්බන්තොට වරායට ප්‍රවේශ වීම සඳහා මෙරට පිහිටි අදාළ නෞකා සමාගමේ ඒජන්තවරයා විසින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් ඒ අනුව නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට වරාය අධිකාරිය විසින් අවසර ලබාදී තිබෙන බවයි.
එලෙස වරායට ඇතුල්වන නෞකාවේ ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සහ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කල් තියා දැනුම් දීමක් සිදුකළ යුතුව තිබුනත් අදාළ දේශීය ඒජන්තවරයා විසින් විකිරණශීලි ද්‍රව්‍ය එහි ඇති බවට දැනුම් දීමක් සිදුකර නොමැති බවද පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එච්.එල්. අනිල් රංජිත් වැඩිදුරටත් සඳහන් කොට ඇත.
කෙසේ වුවත් අදාළ නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු බවට හම්බන්තොට වරායේ ප්‍රධාන පාලක නිලධාරිවරයා විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දුන් බවත්, ඒ අනුව වහාම නෞකාව වරායෙන් ඉවත් කර ගැනීමට දැනුම් දුන් බවයි අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.
මේ අයුරින් හම්බන්තොටට පරමානු සහිත නැවක් පැමිණ ඇති බවට පළමු වරට පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.










