ජනපති – අගමැති ඇතුළු දේශපාලකයන් ඉදිරි පැය හැත්තෑ දෙක තුළ නිසි තීරණයක් නොගතහොත් සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ම අරගල බිමට කැඳවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසීය.
වගකිව යුතු වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩ හර්තාලයක් සහ වැඩවර්ජනයක් අද දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කොට තිබුණ ද වගකිවයුතු පාර්ශවවලට යම් සහන කාලයක් ලබාදෙමින් එය ලබන 18 වන දා දක්වා කල්දැමූ බව ද හෙතෙම සඳහන් කළේ ය.
ජනපති හා වැඩ බලන ජනපති ධූරයට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම 18 වන දාට පෙර සිය ධූරවලින් ඉවත් නොවන්නේ නම්, සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ම අරගල බිමට කැඳවන බවට ඔහු අනතුරු ඇඟවීය.
එනිසා ඉදිරි පැය 72 නිවැරදිව භාවිත කිරීම සියලු දෙනාගේ ම වගකීමක් බව ද හෙතෙම අවධාරණය කළේය.
සියල්ල ව්‍යාකූල කර, ජනපති පුටුව අත්පත් කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ සැලසුම යැයි රවී කුමුදේශ් චෝදනා කළේ ය.
“ඔබට යමක් ඒත්තු ගන්වන්න නොහැකි නම් පුළුවන් තරම් ව්‍යාකූල කර දමන්න (If you can’t convince confuse them) යන ඉංග්‍රීසි කියමනට අනුව රනිල් වික්‍රමසිංහ ද කටයුතු කරමින් සිටින බව ඔහු කීය.
ඔහු බොහෝ පොත් ප්‍රමාණයක් කියවා පරිශීලනය කිරීම නිසා සමහර විට එහි සඳහන් කරුණු අත්හදා බැලීමක් කරනවා විය හැකි යැයි ද හෙතෙම පැවැසීය.
රනිල් වික්‍රමසිංහට කෙදිනකවත් මේ රටේ ජනාධිපති හෝ අගමැති යැයි රටේ මහජනතාවට ඒත්තු ගැන්විය නොහැකි නමුත් ඔහු ඒ අරමුණ තමන්ගේ ජීවිතයේ එක ම අපේක්ෂාව බවට පත් කරගෙන සිටින අයෙකු බවට ත් ඔහු චෝදනා කළේ ය.
තම අරමුණ වෙනුවෙන් දහස් ගණනක් මරණයට පත් වුව ද ඔහු එම අරමුණෙන් ඉවත් නොවනු ඇතැයි ද රවී කුමුදේශ් කීය.
රනිල් ගෝඨාභය හවුල හරහා මෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා හරහා ද රට ම ව්‍යාකූල කරමින් සිටින බව ඔහු පැවසීය.
වැඩබලන ජනාධිපති මෙන් ම අගමැතිගෙන් සහ කතානායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉදිරි පැය 72 ඇතුළත මහජනතාව ව්‍යාකූල නොකරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරන බව ද හෙතෙම කීය.
එය ව්‍යවස්ථානුකූල උත්තරයක් විය යුතු යැයි ද ඔහු පැවසීය.
ව්‍යවස්ථාවෙන් ඔබ්බට යන කැලෑ නීතියක් වෙනුවෙන් තමන් කෙසේවත් පෙනී නොසිටින බවද රවී කුමුදේශ් අවධාරණය කළේ ය.










