‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැළැවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත…
කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝ තලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල…’
අප මේ සුදානම් වන්නේ විශාරද අමරදේවයන් ගයනා කරන, මහගමසේකර රචනා කළ මෙම ගීතය ගැන විචාරයක් කිරීමට නම් නෙවේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉසව්වකට ඔබ ගෙනයන්නයි අද අපේ වෑයම. (Sri Lanka Latest News)
මේ ගීතය සවනත වැකෙන ඕනෑම වෙලාවක, ඕනෑම කෙනකුගේ සිහියට නිරායාසයෙන්ම නැගෙන යමක් ඇත. ඒ ‘අවුකන’ බුද්ධ ප්‍රතිමාවයි. එහි දක්නට ලැබෙන පරිසමාප්ත කලා කෞෂල්‍යයත්, බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණත්, උත්තුංග දේහ විලාසයත්, මහා කරුණා ගුණයත් එකට කැටි කොට හෙළ කලාකරුවා දැවැන්ත කළු ගලක ජීවමාන අයුරින් නිර්මාණය කර අති ආකාරය ඕනෑම කෙනකුගේ මතකයේ රැඳෙන්නට සමත්ය.
මහාවංශයේ දැක්වෙන පරිදි, ක්‍රි.ව. 459 – 477 කාලයේ රජ කළ ධාතුසේන රජතුමා විසින් අවුකන ප්‍රතිමාව නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ කලාවැවට බටහිරින් අවුකන ප්‍රතිමාව පිහිටා ඇත. මෙය නිමවූ ගල්වඩුවා ‘බරණ’ නැමැත්තකු බවත්, ඔවුනට ගල්වඩු ශිල්පය ඉගැන්වීමට අවකන් දේශයෙන් ශිල්පියකු පැමිණි බවත්, එහෙයින් මෙම ප්‍රතිමාව ‘අවුකන’ ලෙස ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බරණගේ දක්ෂතාව ගැන පැහැදුණු ධාතුසේන රජතුමා, ඔහුට ගම්වරයක් තෑගි දී තිබෙන අතර එය ‘ගල්වඩුවාගම’ නමින් අදත් දක්නට ඇත. අවුකන පිළිම වහන්සේ නෙළීම සම්බන්ධයෙන් නොයෙකුත් පුරාවෘත ඉතිහාසයේ සඳහන් වන අතර, ඉන් වඩාත් ප්‍රචලිත වන්නේ, ගුරු – ගෝල තරගයක ප්‍රතිඵලයක් ලෙස ‘අවුකන’ නිර්මාණය වූ බවයි.
ලොව සුපතළ අවුකන පිළිමය පිහිටි කළු ගලක නිර්මාණය කරන ලද හිටි පිළිමයකි. මෙම ප්‍රතිමා වහන්සේ උසින් අඩි 38 අඟල් 10කි. සිරස්පත සමග උස අඩි 42 අඟල් 6කි. පිළිමය පාමුල අලංකාර පද්මාසනයක් අති අතර, පද්මාසනයේ සිට සිරස්පතට ඇති මුළු උස අඩි 46 අඟල් 4ක් ලෙස ගණන් බලා ඇත. මේ සුවිසල් ප්‍රතිමාවේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නම්, එහි සිරසට වැටෙන ජලය නාසය දිගේ ගලාගෙන විත් පහළ සිරිපතුල් දෙක අතර මැද ඇති සලකුණක් මතට වැටීමයි. මෙයින් පෙනීයන්නේ, මේසා විශාල ශෛලමය ප්‍රතිමාවක් වුවද එය ලම්බකව, සමබරව, ඍජු ලෙස නෙළීමට තරම් බරණ ගල් වඩුවා සමත් වී ඇති බවයි. එය, හෙළ කලාකරුවාගේ විස්මිත කලා කුසලතාව මැනැවින් ලොවට කියාපාන කදිම සාධකයකි.
කිසියම් කලා නිර්මාණයක් ජනතාවගේ වින්දනයට නොගැළපේ නම්, එය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. එනිසා ඒ සඳහා යොදාගන්නා අංගෝපාංග නියමාකාරයෙන්ම යෙදිය යුතුය. මේ හේතුව නිසා පුරාණයේ සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාව උසස් තැනක් ගන්නා ලදී. එහිදී පූජනීයත්වය මෙන්ම සුන්දරත්වයද එකට කැටිකර ඇති අයුරු අවුකන ප්‍රතිමා වහන්සේ තුළින් විද්‍යමාන වේ.
ප්‍රතිමාවක් තුළින් එම පුද්ගලයාගේ බාහිර ස්වරූපය පමණක් නොව ආධ්‍යාත්මික ස්වරූපයද නිරුපණය කළ යුතුය. සාමාන්‍ය මනුෂ්‍යයකු නොවන බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ කෙසේ නම් ප්‍රතිමාවක නිරූපණය කරන්නද? මෙහිදී බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේතවත් කරන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදහා දැක්විය යුතුය. මෙයින්, බාහිරව දැකිය හැකි මහා පුරුෂ ලක්ෂණ පහළොවක් පමණ අවුකන ප්‍රතිමාව තුළ දැකිය හැකිය.
ඒවා නම්, සුපුහුටි පාද, දික් විළුඹ, දික් ඇඟිලි, දැල් කවුළුවක් බඳු අත්පා, මත්තෙහි ගොප් ඇටය, ඕළු මුවන්ගේ බඳු කෙණ්ඩා, ඍජුව තිබෙන්නාවූ ගාත්‍රා, පිරී තිබෙන්නාවූ දෙඅතුල්, දෙපතුල්, දෙඅස්න්කූඨ පිටිකර ඇති බව, සිංහයෙකුට බඳු වූ ඌර්වකාය, පිට රන් ඔරුවක් වැනි අන්තාරාංගයක් ඇති බව, රන් බෙරයක් සේ සමව වටවූ ග්‍රීවා ඇති බව, සිංහයකු සේ සමව වටව සිටිනාවූ හනුභාග ඇති බව, ඌර්ණ රෝම ධාතුව, උණහිස්සිස ලක්ෂණ සහ දීර්ඝ වූ අත් ඇති බව වේ.
මීට අමතරව තවත් වැදගත් ලක්ෂණ කිහිපයක් අවුකන ප්‍රතිමා වහන්සේගේ දක්නට ලැබේ. සිරුරේ බර දෙපාවලට සමසේ බෙදීයන සේ අවුකන පිළිමය සමංගභාග ක්‍රමයට ඉදිකර ඇත. වම් හස්තය උරහිස මට්ටමට ඔසවාගෙන සිටින අයුරින් නිර්මාණය කර අති මුද්‍රාව ‘කටක’ මුච්‍රාව වන අතර, අකුණු හිතන් ‘අභය’ මුද්‍රාව නිරූපණය වේ.
බුදු පිළිම නෙළීම කවදා කොතැනදී ආරම්භ වුයේදැයි නිශ්චිතව කිව නොහැක. බෞද්ධ සහිත්‍යය හා පුරාවිද්‍යාවට අනුව ක්‍රි.පූ. පළමු හෝ දෙවැනි සියවස්වලදී බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වී ඇත. එහෙත් මේ කාලයේ ප්‍රතිමා නෙලූ ශිල්පීන් බුදුන් වහන්සේ සියැසින් දැක තිබුණා විය නොහැක. එසේනම් මොවුන් බුද්ධ ප්‍රතිමා නෙළුවේ බුදුගුණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරගෙන විය යුතුය. කරුණු එසේ වී නම්, හෙළ කලාකරුවාගේ පරිකල්පනයේ අපූර්වත්වය පෙන්වන කදිම නිදසුනක් ලෙස අවුකන සහ රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා දැක්විය හැකිය.
රැස්වෙහෙර ප්‍රතිමාව, සැස්සේරුව නමින්ද හඳුන්වන අතර, අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16ක් දුරින් පිහිටා ඇත. මේ පිළිම දෙක නිර්මාණය වීම සම්බන්ධයෙන් අපූර්ව කතාන්දර රැසක් ජනප්‍රවාදයේ ඇත. මේවා අතරින් වඩාත් ප්‍රචලිත එකක් වන්නේ, මෙකී පිළිම යුගලෙහි නිර්මාණකරුවන් දෙදෙනා ගුරා සහ ගෝලයා බවත්, ගුරා රැස්වෙහෙර පිලිමයත්, ගෝලයා අවුකන පිළිමයත් නෙළීම ආරම්භ කර ඇති බවත් වේ. පළමුව පිළිමය නිමවන තැනැත්තා, ‘හූවක්’ තැබීම මගින් අනෙකාට ඒ බව සැලකළ යුතුවිය. කෙසේ වුවත් රැස්වෙහෙර පිළිමය නෙළමින් සිටි ගුරාට තම ගෝලයාගේ ‘හූ’ හඬ ඇසීමෙන් තමා පරාජයට පත්වූ බව හැඟී, එම සිත්තැවුලෙන්ම පිළිමය නෙළමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසාගත් බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
කෙසේ වෙතත්, අවුකන ප්‍රතිමාවට වඩා බෙහෙවින් ප්‍රාථමික ලක්ෂණ රැස්වෙහෙර ප්‍රතිමාවේ දක්නට ලැබේ. අනෙක් අතට රැස්වෙහෙර හෙවත් සැස්සේරුව ප්‍රතිමාව වැඩ අවසන් කර නොමැත. එය අදත් දක්නට හැක්කේ ඒ අයුරින්මය.
අවුකන පිළිමය, පිහිටි ගල මතුකරමින් නිර්මාණය කර අති අතර, රැස්වෙහෙර පිළිමය, පිහිටි ගල හාරා ඒ තුළ නෙළා ඇත. රැස්වෙහෙර ප්‍රතිමාවේ බොහෝ ලක්ෂණ බාමියන් බුද්ධ ප්‍රතිමාවන්ට සමාන වේ. මේ නිසා රැස්වෙහෙර නිර්මාණය කළ ගල්වඩුවා, එදා අවකන් දේශය නමින් හැඳින්වුණු බාමියන් රට හෙවත් ඇෆ්ගනිස්තානයෙන් පැමිණි කෙනකු විය හැකි බව ඉතිහාඥයෝ පවසති. එසේ වුවත් මේ පිළිම දෙකම අපේ රටේ ඉතා වැදගත් ප්‍රතිමා දෙකක් ලෙස බොදු ජනතාවගේ වන්දනා මානයටත්, බුහුමනටත් නිතැතින්ම පාත්‍ර වේ.
(අන්තර්ජාලයෙනි)










