සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස බලපෑම් කරමින් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලුම රැස්වීම අත්හිටුවීමට එම පාර්ශ්වය තීන්දු කර ඇත.
අද (30දා) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.
එම සාකච්ඡාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ද මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද එක්ව සිටියහ.
මෙහිදී වික්‍රමසිංහ මහතා දැඩිව අවධාරණය කොට ඇත්තේ මින් ඉදිරියට දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන සියලු රැස්වීම් අවලංගු කළ යුතු බවත්, පක්ෂයේ බෙදීම් ඇතිවන ආකාරයට තැන් තැන්වල පවත්වන සාකච්ඡා වහාම නැවැත්විය යුතු බවත්ය.
ඒ ආකාරයට සති එකහමාරක පමණ කාලයක් කටයුතු කර පෙන්වන්නේ නම් පක්ෂයේ ජනපති අපේක්ෂක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව මෙහිදී ප්‍රකාශ කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා ලබන 06 වැනි දින ආරම්භ කළ හැකි බවද පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමයෙන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් නොකරන බව මෙහිදී අවධාරණය කර ඇති වික්‍රමසිංහ මහතා පක්ෂ ව්‍යවස්ථාවට අනුව යමින් පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම්කරනු ලබන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව බවද දැනුම්දී තිබේ.











