මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
මාළිගාවත්ත ප්‍රදේශයේ පෙරෙදා (20) පස්වරුවේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවය.
එහිදි අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
“ඡන්දේ තියන්න සල්ලි නෑ. ඡන්දේ තිබ්බොත් බෙහෙත් නෑ. ඡන්දේ තිබ්බොත් තෙල් නෑ කියනවා නේද. ඡන්දේ තියන්න යන්නේ රුපියල් බිලියන 8යි. සීනි බදු වංචාව බිලියන 15යි. සීනි බදු වංචාවෙන් විතරක් ඡන්ද දෙකක් තියන්න පුළුවන්. උඹලා ඡන්දයක් තියා ගන්න බැරි තරමට මේ රට වැට්ටුවා නම් යන්නම ඕනේ. ඒ නිසා ඡන්දේ තියන්නම ඕනේ. ආර්ථිකය හොඳට තියෙනවා නම් ටිකක් හිතන්න තිබුණා.. කමක් නෑ තව මාස 2ක් 3ක් ගියාට කියලා. මුදල් බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙන්න කියලා. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදි ඉන්න.”