රනිල් මාමා වූ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා 1978දී ලංකාව සිංගප්පූරුවක් කරන බව පැවසූ බවත්, වසර 44කට පසු අද රනිල්ද ලංකාව සිංගප්පූරුවක් කරන බව පවසන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී ඔහු වැඩිදුරටත් දැක් වූ අදහස්,
“එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා 22වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වනවා. අපේ රටට 1978දී ගෙන එන ලද ව්‍යවස්ථාව රටට යෝග්‍ය නොවන බව අපි සියලු දෙනා දන්නවා. විවිධ අවස්ථාවල, විවිධ අරමුණු පෙරදැරිව මේ ව්‍යවස්ථාවට විවිධ සංශෝධනයන් සිදුවී තිබෙනවා. අප උත්සාහ කරන්නේ මෙම නව ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනය වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගැනීමටයි. මෙම 1978 ව්‍යවස්ථාව අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් හෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ නැහැ. මේ නිසා දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, මේ ආ.ක්‍ර.ව්‍ය. වෙනුවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ සම්මත කර ගත යුතුව තිබෙන බවට වන ස්ථාවරයක සිටිනවා. මේ විනාශකාරී විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. මෙම විධායක ජනාධිපති ධුරය අපේ රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන මුළුමනින්ම විනාශයට පත් කරන, තනි පුද්ගයෙක් අතට සියලු බලය කේන්ද්‍ර ගත වන තනතුරක්. එය අහෝසි වන, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වන, ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවත් තහවුරු වන, වංචා දූසණ නාස්තියට තිත තබන රෙගුලාසි පැනවෙන නව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි.
අපි පක්ෂයක් ලෙස දීර්ඝ කාලයක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් බලයට පත්වූ ආණ්ඩු මැතිවරණවලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඉදිරිපත් කළා. චන්ද්‍රිකා මහත්මිය, 2015දී රනිල්-මෛත්‍රී ආණ්ඩුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාවට පොරොන්දු දුන්නා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවේ 20වැනි සශෝධනය සම්මත කරගන්නා අවස්ථාවේදී ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ විමට පෙර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට රටට පොරොන්දුවක් දුන්නා. ද්විත්ව පුරවැසිභාවය වැනි සශෝධන 20වැනි සශෝධනයට ඇතුළත් කරන්නේ ඒවා ඉවත් කිරීම සඳහා සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව කියමිනුයි. ඒ වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයක් ආරම්භ කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඔවුන් විසින් සකස් කර තිබුණා.
මේ කිසිවක් ඉලක්ක සහගත ඵලදායී ව්‍යාපෘති බවට පත් වූයේ නැහැ. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතාවගේ වුවමනාව මේ පාලකයන් විසින් ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. දැන් නැවතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට නව සශෝධනයක් ගෙනැවිත් තිබෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා පළමු සහ එකම ප්‍රජාතන්ත්‍රවාදී සශෝධනය 17වැනි ආ.ක්‍ර.ව්‍ය. සශෝධනයයි. ඒ ජනතා විමුක්ති පෙරමුණ, චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරිවාස පාලනයකට ලක්කිරීමෙන් පසුව මේ රටේ ජනතාවට දිනා දුන් ජයග්‍රහණයක්. එදා පාර්ලිමේන්තු නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා 17 සම්මත කර ගැනීමට සහය දුන්නා. නමුත් මහින්ද රාජපක්ෂ 2010දී තමන්ට 2/3 ලබා ගත්තාට පසුව එම 17 අහෝසි කර එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යටපත් කරමින් නැවත 18 වැනි සශෝධනය ගෙනාවා. නැවත 2015 මැතිවරණයෙන් පසුව 18වැනි සශෝධනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන 19වැනි සශෝධනය ගෙනාවා. නැවත 19 අහෝසි කර 20වැනි සශෝධනය ගෙනාවා. එහෙත් මේ පාර්ලිමේන්තුවේ මේ සංශෝධන 04ටම අත එසවූ අය ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ඒවා අහෝසි කිරීමටත් ඔවුන් අත් ඔසවා තිබෙනවා. ගමේ මරණාධාර සමිතියකවත් මෙවැනි සාමාජිකයින් නැහැ. පස්වැනි වතාවටත් මේ පිරිස එළඹෙන සිකුරාදා 22වැනි සංශෝධනයට අත එසවීමට බලාගෙන සිටිනවා. මේ පාර්ලිමේන්තුව අරුම පුදුම පාර්ලිමේන්තුවක්.
ඒ නිසා මේ පාර්ලිමේනතුව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ගැන හෝ නව ව්‍යවස්ථාවක වුවමනාවන් පිළිබඳව උනන්දු වන කණ්ඩායම් නොවන බව ඉතාම පැහැදිලියි. ඒ මොහොතේ තමන්ගේ බඩ වියත රැකගැනීමට උපයෝගී වෙන්නේ කුමක්ද යන්න මත ඔවුන් ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ 22වැනි සශෝධනයත් වඩාත් ප්‍රජාතාන්ත්‍රික කර ගැනීමේ අවශ්‍යතාවක් අපට තිබෙනවා. ඔබට මතක ඇති, 19වැනි සංශෝධනය සකස් කරන මොහොතේදී අපි යෝජනාවක් ඉදිරිපත් කළා. අද අපේ රටේ දේශපාලනයේ විශාලතම විනාශයකට හේතු වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පිල් මාරුකිරීමයි. ඇමතිකම්වලට, වරදානවලට, මුදල්වලට, ඉඩම්වලට, ගෙවල්වලට නඩු ඉවත් කර ගන්න එහෙම මෙහෙට පනින සංස්කෘතියක් තිබෙනවා. ජනතාව ඡන්දය ප්‍රකාශ කළ පසුව පාර්ලිමේනතුව එහෙට මෙහෙට පැන ජනතාවගේ මතය විකෘති කරනවා. තමන්ට ලබා දුන් ජන වරමට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියන සංශෝධනයක් අපි 19වැනි සංශෝධනයට ඉදිරිපත් කළා. 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී එහි මුල් පිටපතේ එය ඇතුළත්ව තිබුණා. එහෙත් කාරකසභා අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන එයට එරෙහි වූවා. විජේදාස රාජපක්ෂ එය එකඟ වුණා. පැත්ත මාරු කළොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වූ යෝජනාව ඉවත් වුණා.
තමන් ඡන්දය ලබා දී පත් කරන මන්ත්‍රීවරයා වරප්‍රසාද වරදානවලට, අපරාධවලින් හැංඟෙන්න පිල් මාරු කිරීමේ සංස්කෘතිය වෙනස් විය යුතු බව මේ රටේ ජනතාව කවුරුත් පිළිගන්නවා. ඒත් 19වැනි සංශෝධනයේදී පාර්ලිමේනතුව විශ්වාස කළේ එය නෙමෙයි. කෙසේ වෙතත් අවම වශයෙන් මෙම 22වැනි සංශෝධනයට මෙම සංශෝධනයවත් ඇතුළත් විය යුතු යැයි අපි විශ්වාස කරනවා. සම්පූර්ණ ව්‍යවස්තාවක් වෙනස් කිරීම දීර්ඝ, සංකීර්ණ ක්‍රියාවලියක්. මොවුන් එවැන්නක් කරන්නේ නැහැ. ඔවුන්ගෙන් එවැන්නක් ඉල්ලීමෙන්ද පලක් නැහැ. නමුත් අවමයෙන් පක්ෂ මාරු කළහොත් මන්ත්‍රී ධුරය අහෝසි වන බවට වන වගන්තිය ඊට ඇතුළත් විය යුතුයි.










