අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා අද (20) පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නේය.
පසුගිය දිනක අග්‍රාමාත්‍යතුමන් වෙත රුපියල් පන්දහසක් ද සමඟින් තැපෑලෙන් යොමු කර තිබූ එම ලිපිය කියවූ අග්‍රාමාත්‍යවරයා අසූ හයවියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස තම සමාජ වගකීම නිසි ලෙස හඳුනාගත් හේවාහැට මහතාගේ පරිත්‍යාගශීලීත්වය අගය කළ යුතු බව ප්‍රකාශ කරමින් ඒ මහතා අතින්ම එම මුදල ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමට අවශ්‍ය කටයුතු සළසන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත උපදෙස් ලබාදුන්නේය.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මිරිසවැටිය පුදබිමේ අද (2020.06.20) පැවැති දානමය පිංකම අවස්ථාවේ දී කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා හේවාහැට මහතා විසින් පරිත්‍යාග කරන ලද එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ජනාධිපතිතුමන් වෙත භාරදීමට ඒ මහතා වෙත අවස්ථාව සළසාදෙනු ලැබිණි.
එම අවස්ථාවට හේවාහැට මහතාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.










