ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද (06) දින විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ජාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී
නීතිඥ සාගර කාරියවසම් , පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහභාගී වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගා ගත් එකඟතාවයන් වඩාත් ඵලදායි ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙහිදී දෙපාර්ශවය එකඟතාවය පළ කළ බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සහෝදර දේශපාලන පක්ෂ සමග සුහදතාව වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව ලෙස බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (6) පෙරවරුවේ
මෙම සාකච්ඡාව පැවැත්විණ.
පක්ෂ දෙකෙහිම පලාත් පාලන නියෝජිතයන් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටත් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වීමට පක්ෂ දෙකෙහි නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද මෙහිදී එකඟතාවය පල කළ
අතර සංවර්ධන කටයුතුවලදී පක්ෂ දෙකෙහිම නියෝජිතයින් සඳහා සමාන අවස්ථාවන් ලබා දීමට මෙහිදී එකඟතාවය පළවිය.
එයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් මතුවන ගැටළුකාරී තත්වයන් දෙපාර්ශවය සාකච්ඡා මට්ටමින් කටයුතු කර පලදායි ලෙස විසඳා ගැනීමටත්, ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමටත් එහිදී එකඟතාවයට පත්විය.