ගොවියාට තිබූ පොහොර සහනාධාරය පවා කපා හරිමින් අපේ රටේ ඩොලර් සම්පත භාවිත කර විදේශීය අසූචි කාබනික පොහොර ගෙනවිත් අපේ වගාවන් විනාශ කර ඉන් නොනැවතී ගොවියා රෝගීන් බවට පත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් සැබෑ ලෙසම ගොවියාගේ දුක දන්නා පුද්ගලයන් සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බලයට පත් වූ විගසම ගොවියාගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ඇති කර වාරි ජල සංස්කෘතිය හරහා ගොවියා රජකරවන යුගයක් නැවත ඇති කරවන බව විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ වව්නියාවේදී පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ නව තාක්ෂණය පැත්තෙන් ගොවි ජනතාව සවිබල ගන්වා වැඩි ඵලදායිතාවකින් යුත් අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගොවියා යොමු කරවන බවත් ඒ තුළින් නව ගොවි ජන විප්ලවයක් ඇති කර ගොවි ජනතාවගේ අත මිට සරු කිරීමට කටයුතු කරන බව ද පැවසීය. එසේ ම අද සිට හෝ අලුතින් සිතා කටයුතු කිරීමට ආරම්භ කර රට වැටී ඇති තැනින් ගොඩ ඒම සඳහා සෑම සියලු දෙනාම එක්වන ලෙස ද විපක්ෂ නායකවරයා එහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.