ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ දින සිටම ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විවිධාකාරයේ පුවත් මවන්නියක බවට පත්වූයේ සෑම දෙනාගේම අවධානය දිනා ගනිමිනි. මැතිවරණයට පෙර එතරම් ජනප්‍රියත්වයක් හිමිව නොතිබූ ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව හරහාය. ඒ, තම සැමියාගේ පක්ෂය සමගි ජන බලවේගයට ලබාදීමේදී වූ පොරොන්දුව අනුවය.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඇය 20 වැනි සංශෝධනයේදී ඊට සහාය ලබාදෙමින් ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කළේ සියලු දෙනාම මවිතයට පත් කරවමිනි. එතැන් පටන් ඇය අසුන්ගත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේය.
ඉන් පසුව කිහිපවරක්ම ඇය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළාය. පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් ඇය ප්‍රකාශ කළේ මත්පැන් ශාලා මධ්‍යම රාත්‍රිය දක්වා විවෘත කළ තිබිය යුතු බවත්, ගංජා සහ ගණිකා වෘත්තිය මෙරට නීතිගත කළ යුතු බවත්ය. ඒ සමඟම විවිධාකාරයේ විවේචන රාශියක් ඇය වෙත එල්ල වන්නට විය.
මේ අතර ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසියකු බවට චෝදනාවක් ඇය පාර්ලිමේන්තුවට පත් වූ දින සිටම එල්ල වෙමින් තිබිණි. එම චෝදනාව එල්ල කළ අයගේ මතය වූයේ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිව්රුම් දීමේ නීතිමය හැකියාවක් නොමැති බවය. කෙසේ නමුත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමට තිබූ බාධාව ඉවත් කළ අතර ඒ සමඟම ඩයනා ගමගේ මහත්මියට එල්ල වූ චෝදනාවද යටපත් විය.
ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද සමාජ ක්‍රියාධරයන් කිහිප දෙනකු ඒ දිනවල කටයුතු කළ ආකාරය දැකගත හැකි විය. ඒ අතර ඉදිරියේම සිටියේ ඕෂල හේරත් මහතාය. දැන් නැවත වරක් ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය කතාබහට ලක් වී ඇත්තේ ඕෂල හේරත් මහතාගේ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ප්‍රසිද්ධියට පත්වී තිබීම මතය.
එම වාර්තාව මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික හා විගාමික පනත යටතේ වැරැදි සිදු කර ඇති බවට නිරීක්ෂණය වන බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේදී හෙළිවී ඇති කරුණු අනුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසියකු ලෙස ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හෝ ලබාගෙන නොමැති බවය.
එමෙන්ම බි්‍රතාන්‍ය පුරවැසියකු ලෙස බි්‍රතාන්‍ය ගමන් බලපත්‍රයකට ශ්‍රී ලංකාවේ වීසා අයදුම් කර ඇති ඇය 2014.10.10 වැනි දින සිට අවස්ථා කිහිපයකදී සංචාරක වීසා සහ නේවාසික වීසා ලබාගෙන ඇත. ඇය අවසන් වරට 2014.08.27 දින සිට 2015.07.16 දක්වා මෙරට නේවාසික වීසා ලබාගෙන ඇති නමුත් 2015. 07. 16 දිනෙන් පසු මෙරට නේවාසික වීසා හෝ ලබාගැනීමට කටයුතු කර නොමැති බවට තොරතුරු හෙළිවී ඇති බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
කෙසේ නමුත් ඉන්පසුව ඇය මෙරට ලිපිනයන් භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත් මෙන්ම රාජකාරි ගමන් බලපත්‍රද සකස් කර ඇති බවට එම වාර්තාවේ කරුණු සඳහන්ව ඇත. එම කරුණු අනුව පැහැදිලිව පෙනී යන තවත් කරුණක් වන්නේ ඩයනා ගමගේ මහත්මිය විසින් උප්පැන්න දෙකක් භාවිතා කර ඇති බවය.
එලෙස භාවිත කළ අංක 6553 දරන උප්පැන්න සහතිකය පරිගණක දත්ත අනුව පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ එකක් බව පෙනීගොස් ඇති බව පැවැසේ. එමෙන්ම අංක 4683 දරන අංකය ඔස්සේ භාවිතා කළ උප්පැන්න සහතිකය අවස්ථා තුනකදී නම් වෙනස් කිරීමට ලක් කර ඇති බවද කියැවේ. එහිදී පළමු නම ලෙස භාවිත කළ “නයනා සමන්මලී” යන්න “ඩයනා නටාෂා කැකනදුර” ලෙස වෙනස් කර ඇති අතර, පසුව එය “ඩයනා ගමගේ” ලෙස වෙනස් කර ඇත. එම අවසන් වෙනස් කිරීම සිදුකර ඇත්තේ 2014.02.05 වැනි දිනය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. කෙසේ නමුත් මේ කරුණු අනුව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තම පුරවැසිභාවය සම්බන්ධයෙන් ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ඇති බව ඔප්පු වී ඇතැයි යන්න පැමිණිලිකරුගේ පාර්ශ්වයේ අදහස වී ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මේ ආකාරයෙන් කටයුතු කිරීම ඉතා බරපතළ වැරැද්දක් බවද ඔවුන්ගේ මතය වී ඇත.
ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව 20 වැනි සංශෝධනයෙන් ලැබී ඇති නමුත්, ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ එම නීතිය බලපැවැත්වුණේ නැත. එබැවින් ඒ හරහා ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි වනු ඇති බවට මතයක්ද මේ වන විට ඇති වී තිබේ. එමෙන්ම හෙළිවී ඇති කරුණු අනුව ඇය ද්විත්ව පුරවැසියකුද නැතිනම් බි්‍රතාන්‍ය පුරවැසියකු පමණක්ද යන්නද අභියෝගයට ලක්ව තිබේ. ඒ හරහාද ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුවී ඇති බව ඔවුන්ගේ මතයයි.
මේ ආකාරයෙන් පුරවැසිභාවයේ ප්‍රශ්නයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වූ මන්ත්‍රිවරියක් ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය හැඳින්විය හැක. ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය ඒ ආකාරයෙන් අහෝසි වූයේ 2017 වසරේදීය. ඒ වන විට ක්‍රියාත්මක වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි වූ අතර, ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසියකු වන බැවින් ඇය මන්ත්‍රීධුරය දැරීමට සුදුසු නොවන බවට තීරණය කරන ලෙස ඉල්ලා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබිණි. එම පෙත්සම විභාග කළ අධිකරණය තීන්දු කළේ තමන් ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසියකු නොවන බව සනාථ කළ හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට කුමාරසිංහ මහත්මිය අසමත් වූ බැවින්, ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවය. නමුත් පසුගියදා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කරුණු දක්වමින් කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ තමන් ඒ වන විටද තම ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගෙන තිබූ බවය.
බැලූ බැල්මට පෙනී යන්නේ ඩයනා ගමගේ මහත්මියගේ ප්‍රශ්නය ඊටත් එහා ගිය කරුණක් වන බවය. ඒ පිළිබඳ තීරණය ඉදිරියේදී අධිකරණය ප්‍රකාශයට පත්කරනු ඇත.
කෙසේ නමුත් මේ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ සමාජ ක්‍රියාධර ඕෂල හේරත් මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මෙතරම් කරුණු හෙළිදරව් වී තිබියදීත් මේ පිළිබඳ කිසිවකු පාර්ලිමේන්තුවේදී කරුණු නොවිමසීම පුදුමයට කරුණක් වන බවය.
“ඇත්තටම ඩයනා ගමගේ මහත්මිය ඉතා බරපතළ විදියට මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරලා වගේම පාර්ලිමේන්තුව නොමඟ යවා තියෙන බවත් තහවුරු වෙලා තියෙද්දි ඒ ගැන කවුරුවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නොකරන එක පුදුමයට කරුණක්. විපක්ෂ නායකතුමාවත් ඒ ගැන කිසි දෙයක් කතා කරන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණත් එහෙමයි. මේ තරම් බරපතළ වැරැද්දක් කෙරුව මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්න එක ඒ අයට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි කියන එක අපට ප්‍රශ්නයක්. මේ දේවල් ගැන කතා කරන්න විපක්ෂයට කොන්දක් නැද්ද කියලා තමයි අහන්න වෙන්නේ.”
හේරත් මහතා කරුණු දැක්වූයේ එසේය.
අප මේ පිළිබඳ ඩයනා ගමගේ මහත්මියගෙන්ද කරුණු විමසූ අතර එහිදී ඇය සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ ප්‍රකාශ නොකරන බවය.
“මේ වෙලාවේ මම ඔය ගැන මොකුත්ම කියන්නේ නැහැ. දැන් ඕක ගැන කතාකරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් දේ කරන්න කියන්නකෝ. ඔය එක එක්කෙනා කියන ඒවා අහන්න ගියොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ. ඔය දේවල්වලට මම කරන්න ඕනේ දේ කරගෙන යනවා. ඒක ඉස්සරහදි හැමෝටම බලාගන්න පුළුවන්.
ඇත්තටම ඕක මගෙත් එක්ක තියෙන පුද්ගලික තරහකට කරන වැඩක්. ඉස්සර ජනාධිපතිතුමාටත් ඔය වගේ කතා කිව්වනේ. ඒ හින්දා පුළුවන් නම් ඒ අයට ඕවා ඔප්පු කරන්න කියන්න.”
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අදහස් දැක්වූයේ එසේය.
චන්දන පොන්නම්පෙරුම










