ශ්‍රී ලංකා රජය විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමට එරෙහිව අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේදී එම බැංකුවට පක්ෂව තීන්දුව ලබා දීමට අධිකරණය පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ අර්බූදයකට යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ පූර්ව අනතුරු අගවා සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට තිබියදී ලැබුණු මෙම නඩු තීන්දුව හේතුවෙන් ඇතැම් ණය හිමියන් ණය ගෙවන ලෙස ඉල්ලා එම නඩු තීන්දුව පූර්වාදර්ශයක් වශයෙන් ගෙන අධිකරණය හමුවට ගියහොත් බරපතළ අර්බූදයක් මතුවිය හැති බවකි.
එමෙන්ම ලංකාව බංකොලොත් බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තනතුරු බාර ගෙන දින 4ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට ආර්ථික ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව තිබේ.
පළමුව මෙය රටට අනාවරණය කළේ අනුර කුමාර දිසානායක මහතාය.
ඒ මහතා පෙන්වා දුන්නේ වීරසිංහ මහතා සිකුරාදා දිනයේ තනතුර බාරගත් බවත් අගහරුවාදා දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ බවත්, ඒ පසුපස බරපතළ සැකයක් මතුව ඇති බවත්ය.










