එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයට පත් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පත් කිරීම නීති විරෝධී බවත්, ඔහුගේ පත්වීම අත්හිටුවන ලෙසත් කියමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරුතුමිය වන පූර්ණිමා පරණගම මහත්මිය විසින් අද (08) දින ප්‍රතික්ෂේප කරණු ලැබුවාය.
කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 497/2022 යටතේ මහින්ද අමරවීර මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රිපාල සිරිසේන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිවය.
පැමිණිලිකාර මහින්ද අමරවීර මහතා වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටි අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මීට පෙර නිමල් සිරිපාලද සිල්වා මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අධිකරණයට ගියද එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණ.










