දේශපාලනඥයන්, නළු නිළියන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචාකරමිිින් විදේශ රටවල මුදල් තැන්පතු සහ නොයෙකුත් ව්‍යාපාරවල තැන්පතු කිරීම වෙනුවෙන් ලාබදායි මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස අත්අඩංගුවට ගත්තේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවකි.
ඒ අදාළ කාන්තාව රුපියල් මිලියන 226කට අධික මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන එම මුදල් නැවත ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
ඒ අනුව අදාළ සැකකාරිය අද දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාට තමන් සතු සමාගම්වල මුදල් ආයෝජනය කර ලාභාංශ ලබාගන්නා ලෙස සැකකාරිය පවසා ඇති බවය.
අනතුරුව එම ව්‍යාපාරිකයා සැකකාරියට රුපියල් මිලියන 226කට අධික මුදලක් ආයෝජනය සඳහා ලබාදී තිබේ.
එම ව්‍යාපාරිකයා මෙම මුදල කාන්තාවට ලබාදී ඇත්තේ තමන්ගේ කොළඹ 07 පිහිටි සුපිරි නිවස විකිණීමෙන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය.
කෙසේවෙතත් ඉන් ලාභාංශ නොලැබීම නිසා ඒ පිළිබඳව ව්‍යාපාරිකයා සැකකාරියගෙන් විමසා ඇති අතර එහිදී ඇය රුපියල් මිලියන 239ක චෙක්පත් ලබාදී ඇති බව අනාවරණය විය.
පසුව ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ ඒවා අගරු චෙක්පත් බවයි.
සැකකාරිය නැවත වතාවක් ව්‍යාපාරිකයාට චෙක්පතක් ලබාදී ඇතත් එයද අගරු වී තිබේ.
එමෙන්ම සැකකාරිය අගරු චෙක්පත් ලබාදීමෙන් පසුවත් ව්‍යාපාරිකයා හමුවී ඔහුව කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් පවසා ඇත්තේ එහි ඇති රත්‍රං තොගයක් විකුණා අදාළ මුදල ලබාදෙන බවය.
එමෙන්ම මෙම කාන්තාවට මුල්‍ය වංචා පිළිබඳව නඩු 7ක් පවතින බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.
සැකකාර කාන්තාව ගිනි අවි සහිත පෞද්ගලික ආරක්ෂකයන් තබා ගෙන අධි සුඛෝපභෝගි දිවිපෙවතක් ගතකර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
මේ අතර අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම කාන්තාව විදේශිකයන්ට මැණික් අලෙවි කරන හා විදෙස් මුදල් හුවමාරුකරන තවත් ව්‍යාපාරිකයෙකු ද රවටා මුදල් වංචා කර ඇති බවය.
ඒ අනුව සැකකාරිය එම පුද්ගලයාගෙන් අමෙරිකානු ඩොලර් 60,000ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් ලබාගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණ කළේය.
එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාගෙන් රත්‍රං කිලෝවක පමණ ප්‍රමාණයක් ද ලබාගෙන තිබේ.
සැකකාරිය ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඇත්තේ, මෙරටට ඉන්ධන ගෙන්වීමට විදෙස් මුදල් අවශ්‍ය බව පවසමිනි.
එමෙන්ම ඔහුට ද ලබාදී ඇත්තේ අගරු චෙක් පත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.
කෙසේවෙතත් විත්තිකාර පාර්ශ්වයෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආණ්ඩුකාරධූරයක් දැරූ දේශපාලනඥයෙකුගෙන් ද මෙම කාන්තාව රුපියල් කෝටි 80ක මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවය.
එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන දේශපාලනඥයෙකුගෙන් ද රුපියල් කෝටි 7.5ක මුදලක් මෙම කාන්තාව ලබාගෙන ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
වෛද්‍යවරු ඇතුළු විවිධ පාර්ශ්ව රැසකින් ද මෙම කාන්තව මුදල් ලබාගෙන ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.