ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ජනමාධ්‍ය නිදහසට එල්ල වූ දැඩි තර්ජනයක් මෙන්ම දරුණු අනතුරු ඇඟවීමක් ද වන බවත්, එය පිළිකුල් සහගතව දැඩිව හෙළා දකින බවත් මාධ්‍ය සංවිධාන නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද (10) නිවේදන නිකුත් කරමින් මේ බව අනාවරණය කොට ඇත.
මෙමගින් ජනාධිපතිවරයා විසින් වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බව පවසන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට කරන බලපෑමක් මෙන්ම මාධ්‍යවේදීන් බියගැන්වීම සඳහා ගනු ලබන ආරම්භක පියවරක් විය හැකි බව ද සඳහන් කරයි.
ජනමාධ්‍ය විෂය සහ ආරක්ෂක අමාත්‍යාංශ විෂය එකිනෙකට නොපෑහෙන විෂයන් දෙකක් වන බව පෙන්වා දෙන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජනමාධ්‍ය විෂයට අදාළව කැබිනට් අමාත්‍යවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරයි.
ව්‍යවස්ථානුකූල ජනපති බලතල අයුතු ලෙස භාවිතා නොකරන බවට ප්‍රතිඥාවක් දෙමින් බලයට පත්වූ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තවදුරටත් පවසන්නේ ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගැනීමට ජනාධිපතිවරයාට ඇති බලතල සමග ගනු ලැබූ මෙම පියවර වත්මන් දේශපාලන සන්දර්භයට අනුකූල වන සේ සාකච්ඡා කළ යුතු බවයි.