ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නීතිඥ සංගමය පවසන්නේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට විධායකයට ප්‍රතිපාදන සපයන කුරිරු නීතියක් බවයි.
එම පනතේ ‘ත්‍රස්තවාදය’ පිළිබඳ පැහැදිලි නිර්වචනයක් නො මැති බව ඔවුන් කියා සිටිනවා. එම නිසා නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කිරීමටත්, සාමකාමී භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහාත් එය අනිසි ලෙස භාවිතා කිරීමේ බරපතල අනතුරක් පවතින බවයි එම සංගමය කියා සිටින්නේ.
එහෙයින් එම පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහා ම අවලංගු කරන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.