දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (26) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරන්නේ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව තහවුරු වී ඇති බවකි.
විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ග්‍රීඩ් උප පොළේ ඇතිවූ බිඳ වැටීම නොරොච්චොලේ බලාගාරයට බලපා ඇති බවයි.
ඒ හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටීම හමුවේ, මෙම තත්ත්වය ඇතිවූ බව විමර්ශන කමිටුව හෙළි කරගෙන ඇති බව එම නිලධාරියා අනාවරණ කළේය.
කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය සතියේ සදහන් කර සිටියේ දිවයින පුරා විදුලිය බිදවැඩීමට විදුලිබල මණ්ඩලය වගකිව යුතු නම් තමන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවකි.
නමුත් මේ වනවිට ඊට විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයක් නොමැති බව අනාවරණය වී ඇති බැවින් අලහප්පෙරුම මහතාට ඉල්ලා අස්වීමට අවශ්‍යතාවක් පැන නැගී නැත.