පසුගිය ආණ්ඩුව පැවති කාලයේ ආන්දෝලයකට තුඩු දුන් චීන චින්දාවෝ සී වින්ග් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදිත කාබනික පොහොර රැගෙන ආ නැවට ගෙවූ රුපියල් ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
“චීන පොහොර නැවට ලක්ෂ 69ක ගෙවීමක් කරලා තියෙනවා. අපි සල්ලි දීලා තියෙනවා. දැන් පොහොරත් නෑ. සල්ලිත් නෑ. මේක විසඳගන්න පුළුවන් තත්ත්වයක් පේන්නත් නෑ. ඇත්තටම මගේ පළමුවෙනි උත්සාහය වුණේ මේ මුදල අපිට ආපහු ගන්න පුළුවන් ද කියලා බලන එක. හැබැයි ඒක සාර්ථක වන බවක් පේන්න නෑ. අපේ රටට පාඩුවක් වෙලා කියලා අපිට පිළිගන්න වෙනවා” යි අමාත්‍ය මහින්ද අමරවීර කියනවා.
මෙම පොහොර ගනුදෙනුව සිදුවන විට කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ යි. චීන කාබනික පොහොර ලංකාවට භාර නොගන්නා බව එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ පොරොන්දුවී තිබුණා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම පොහොර සාම්පලවල යළි පරීක්ෂණයක් සිදු නොකරන අතර, නැවත ගෙවීම් සිදු නොකරන බවයි.










