චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ගුවන් ගමන් සේවා තුනක් තාවකාලිකව අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය තීරණය කොට ඇති බව Xinhua පුවත් සේවය නිවේදනය කර ඇත.
අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් සඳහා ද ශ්‍රී ලංකාවේ සිට ෂැංහයි බලා ගමන් කරනු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සති 04ක කාලයක් සඳහා තහනම් කොට ඇති බව එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
මෙම ගුවන් සේවා මගින් ඉකුත් දින කිහිපයේදී චීනයේ ෂැංහයි නුවරට පැමිණි මගීන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම ඊට ප්‍රධාන හේතුව ලෙසයි Xinhua පුවත් සේවය වාර්තා කර ඇත.
අගෝස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරින් මේ වනවිට තහවුරු කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඩුබායි සිට ෂැංහයි බලා ගමන් කළ යානයේ සිටි මගීන් මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට හෙළිවී ඇති බවයි.
ඩුබායි සිට ෂැංහයි බලා යමින් තිබු ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මද වෙලාවක් නතර කොට තිබු බවත්, එම ගුවන් යානයේ කිසිවකුත් මෙරටට ඇතුල්වුයේවත් මෙරට කිසිවෙකුත් එම යානයෙන් චීනය බලා නොගිය බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.








