ඕනෑම මැතිවරණයක් ආසන්නයේදී එය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පූර්ව මත විමසුම් සිදුකිරීම අපේ රටේ සාමාන්‍ය සිද්ධියකි. එය පළාත් පාලන, පළාත් සභා මහ මැතිවරණ, ජනාධිපතිවරණ කියා වෙනසක් නොමැතිව සිදුවන්නකි. ඒ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද විවිධ පාර්ශ්ව මේ වන විටත් මත විමසුම් සිදුකරන ආකාරයක් දැකගන්නට තිබේ.
බැසිල්ගෙනුත් මත විමසුමක්
මෙහිදී සියලු දෙනාම අවධානයෙන් යුතුව බලා සිටින්නේ බැසිල් සිදුකරමින් සිටින මත විමසුම පිළිබඳවය. ඊට හේතුව වී ඇත්තේ රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් හිමි බැසිල් විසින් සිදුකරනු ලබන මත විමසුම් සියයට සියයක්ම නිවැරැදි ප්‍රතිඵල ලබාදීමය. උදාහරණයක් ලෙසට පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ පාර්ශ්වයන් මඟින් සිදුකළ මත විමසුම්වලදී සජිත් ජයග්‍රහණය කරනු ඇති බව කියා තිබුණද බැසිල් විසින් සිදුකළ මත විමසුමේදී ලැබී තිබුණු ප්‍රතිඵලය වූයේ ගෝඨාභය ජයග්‍රහණය කරන බවත්, 52%ක ඡන්ද ප්‍රතිඵලයක් ගෝඨා විසින් ලබාගනු ඇති බවත්ය. ඒ කී ආකාරයෙන්ම ගෝඨා ජයග්‍රහණය කළේ 52%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමිනි.
ඒ අනුව යමින් මෙවරද බැසිල් මත විමසුමක් සිදුකරගෙන ගියත් තවමත් මෙහි වැඩකටයුතු අවසන් වී නැත. දැනට එහි 80%ක පමණ කටයුතු අවසන්ව ඇති අතර, තවත් ඉතිරිව ඇත්තේ 20%ක පමණ ප්‍රමාණයකි. පසුගිය මාස දෙක ඇතුළත කොරෝනා වසංගතය හේතුකොටගෙන රටේ දැනට මතුව ඇති තත්ත්වය සියුම්ව විමසුමට ලක්කිරීම හේතුකොටගෙන මෙම ප්‍රමාදය මතුව ඇති බවක්ද වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාලාවල බැසිල් විසින් සිදුකළේ යැයි කියන එක්තරා මත විමසුමක් පළව තිබුණු අතර, පසුව සොයා බැලීමේදී එය ව්‍යාජ එකක් බවට අනාවරණය විය.
හර්ෂ කරපු මතවිමසුමේ ප්‍රතිපලය මෙන්න
මේ අතර සමඟි ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂද සිල්වා මහතාද පසුගිය සතිය වන විට රට ඇතුළේ මත විමසුමක් සිදුකොට එහි ප්‍රතිඵල ලබාගැනීමට පියවර ගෙන තිබිණ. එම මත විමසුම සිදුකර තිබුණේ හර්ෂගේ බිරියට අයත් ‘පෙපර් කියුබ්‘ නම් සමාගම විසිනි. මත විමසුම් මඟින් විමසා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනප්‍රියත්වය සම්බන්ධයෙනි. ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක සිටියද මෙවර මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ මහින්ද බැවින් මහින්දගේ ජනප්‍රියත්වය මැන බැලීම මෙම මත විමසුමේ අරමුණ වී තිබිණ. ඉන් ලැබී තිබුණු පිළිතුර වී තිබුණේ ගෝඨාගේ ජනප්‍රියත්වය තවමත් ඉහළින්ම පවතින නමුත්, මහින්දගේ ජනප්‍රියත්වය කිසියම් ආකාරයකට පහත බැස ඇති බවකි. නමුත් මෙම ප්‍රතිඵලයෙන් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි වුවද තව සති එකහමාරකින් පමණ පැමිණීමට නියමිත බැසිල්ගේ මත විමසුමෙන් මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිශ්චිත වශයෙන්ම දැනගැනීමට හැකි වනු ඇත.
ගෝඨා තවම වෙලාව දී නෑ
කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා විසින් සිදුකර ඇති ‘පෙපර් කියුබ්‘ මත විමසුමට අනුව ගෝඨා තවමත් තමන් ලැබූ ජන ප්‍රසාදය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටින නමුත්, මෙවර මහ මැතිවරණ වේදිකාවට ඔහු ගොඩවීම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් තම තමන්ගේ ආසනවල පවත්වන ඡන්ද රැස්වීම්වලට සහභාගි වන ලෙසට ගෝඨාට හිතවත් මැති ඇමැතිවරුන් මෙන්ම වියත් මගේ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් දැනටමත් ගෝඨාභයගෙන් ඉල්ලීම් කර තිබුණද තවමත් ඔවුන්ට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දින සහ වේලාවන් ලැබී නොතිබීම මීට හේතු වී තිබේ. මේ නිසා ගෝඨාභය මහ මැතිවරණ වේදකාවට නොපැමිණෙනු ඇති බවට විශාල කටකතාවක් ආණ්ඩුව ඇතුළේ මේ වන විටත් පැතිර ගොස් අවසානය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර අවසන් වරට පැවැති සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය මාධ්‍යවේදීන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ලැබ තිබිණ. එහිදී ඔවුන් විමසා තිබුණේ ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා පොහොට්ටුවේ වේදිකාවට ගොඩවනවාද නැද්ද යන්න කියාය. එහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ තමන් දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ඇති බැවින් නියත වශයෙන්ම පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ගොඩවන බවකි. නමුත් තවමත් පොහොට්ටුවේ කිසිදු සාමාජිකයකුට රැස්වීම් සඳහා වේලාව ලබා නොදීම මත ජනාධිපතිවරයා මෙවර පොහොට්ටු වේදිකාවට ගොඩවන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ කිසියම් අවිනිශ්චිත තත්ත්වයකි.
කපිල පුංචිමාන්නගේ










