ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. Sri Lanka Latest News
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (17) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණනු ලැබීය.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය වූ දින සැකකාර ගණේමුල්ල සංජීව නමැත්තා මෙම සැකකාර ජේලර්වරයා විසින් අධිකරණයට රැගෙන විත් තිබෙන බව ද සඳහන් කළේය.
ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවේය.
එහිදී පොලීසිය විසින් සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.
එම ඉල්ලීම්වලට අවසර දුන් අධිකරණය අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.










