නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි සේවිකාවක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.
මෙම 39 හැවිරිදි කාන්තාව රැකියාව කරන එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පිහිටි වායු සමීකරණය කළ එම ගොඩනැගිල්ලේ සේවක සේවිකාවන් 400 දෙනෙකු සේවය කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට එම පිරිස් කවුරුන්දැයි හඳුනාගෙන ඇති අතර ඔවුන්ව නිවෙස් වෙත ගොස් දැනුවත් කිරිමේ වැඩකටයුතු ආරම්භ කොට ඇති බවත් මෙම සේවිකාව සමග බස් රථයේ ගමන් කළ 40 දෙනෙකු පමණ නිවෙස් නිරෝධායනයට යොමු කොට ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.
කොරෝනා ආසාදිත මෙම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් වන ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් සිව්දෙනා සහ ඇයගේ පියා මේ වන විට නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇගේ එක් දරුවෙකු හට සෙම්ප්‍රතිෂ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මෙම කොරෝනා ආසාදිත කාන්තාව සේවය කළ එම ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල දැනට මුද්‍රා තබා ඇති බවද දැනගන්නට ඇත.










