ස්වාධීන මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට කිසියම් පිරිසක් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත්, එම පුවත එක් තැනකින් පළවන පුවතක් බවත්, ඒ ආකාරයේ කිසිදු බෙදීමක් මැතිවරණ කොමිසම තුළ නොමැති බවත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
පසුගිය සිකුරාදා (06) දිනයේදී මෙරට සියලු මාධ්‍ය වාර්තා කොට තිබුණේ මැතිවරණ කොමිසම තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් පවතින බවත්, එක් මතයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කොමිසමට දැනුම් දුන් බවත්ය.
ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී පුංචිහේවා මහතා මේ බව සඳහන් කර සිටියේය.
මැතිවරණ කොමිසම තුළ සිටින සාමාජිකයන් පස්දෙනාම ඒකමතිකව සහයෝගයෙන් කටයුතු කරන බව කී පුංචිහේවා මහතා, සියලු තීන්දු ගනු ලබන්නේ සාමාජිකයන් පස්දෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද සඳහන් කළේය.
මේ බව ලිඛිතව සටහන්ව ඇති බවද පෙන්වා දුන් පුංචිහේවා මහතා, පළාත් පාලන මැතිවරණයේ කටයුතු කලින් තීන්දු කළ ආකාරයටම ඉදිරියටද සිදුකරගෙන යන බව කියා සිටියේය.
ප්‍රේමලාල් විජේරත්න