ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතා පැවසීය.
මෙම දෙදෙනා අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කීය.
ආසාදිත සේවකයින් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සේවකයන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ ජෛව සාම්පල යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් විසින් ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.
හෝටල් පරිපාලනය සඳහන් කරන්නේ මෙලෙස වයිරසය ආසාදනය වී ඇති සේවකයන් දෙදෙනා කිසිම අවස්ථාවක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා සෘජුව සම්බන්ධ නොවූ බවයි.










