උඩරට ජලාශවල ජල මට්ටම් මේ වනවිට බරපතළ ලෙස සිඳීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ජල විදුලිබල ඉංජිනේරුවරු පවසති.Sri Lanka Latest News
මෙම තත්ත්වයට බලපා ඇත්තේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවත්නා දැඩි නියං තත්ත්වය බවද ඔවුහු කියති.
මේ පිළිබඳ ‘මව්රට’ කළ විමසුමකදී උඩරට ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු අවධාරණය කළේ, උඩරට ප්‍රදේශයට මේ වනවිට උද්ගතව පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් දැඩි වුවහොත් ජල විදුලි උත්පාදනයද බෙහෙවින් පහත යාහැකි බවද, එසේ වුවහොත් විකල්ප ක්‍රම මගින් විදුලිය නිපදවීමට සිදුවිය හැකි බවය.
මේ වනවිට කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍ර ලෙස සිඳීයමින් පවතින බවද, ඒ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම අඩි 35කින් පමණද, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 13කින් පමණ පහත බැස ඇති බවද උඩරට විදුලි බලස්ථාන භාර ඉංජිනේරුවරු පෙන්වා දෙති.
එසේම ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසාවෙන් වියළි තත්ත්වයට පත්ව ඇති ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින ලඳු කැලෑවලට සිදුකෙරෙන ගිනි තැබීම් වැනි කටයුතු මෙම තත්ත්වයට බෙහෙවින් බලපෑම් ඇතිකර තිබෙන බවද ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරති.
නන්දන ශ්‍රී දොරකුඹුර










