නොයෙක් දුෂ්කරතා මැද සමගි ජන බලවේගය ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණි බවත්, මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙසේ වෙතත් තම ඒකායන අරමුණ මේ ආණ්ඩුව පරාජය කොට ආණ්ඩු බලය ලබා ගැනීම බවත්, ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව බලමුළු ගන්වන බවත් ඒ මහතා කීය.
මහමැතිවරණයෙන් පසුව පළමුවරට පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.
“අපව විශ්වාස කොට අපට ඡන්දය භාවිතා කළ සියලූම ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. ඔවුන් ලබා දුන් ශක්තිය අපට විශාල පන්නරයක්. මේ මැතිවරණය සාධාරණව පැවැත්වීම උදෙසා වෙහෙසුණු මැතිවරණ කමිෂන් සභාවට, ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට, සියලු නිලධාරීන්ට, මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. බලපෑම් මත වුණත් කිසියම් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ ලැබුණේ ඔවුන්ගේ කැපවීම නිසයි.
සමගි ජන බලවේගය බිහිවන්නේ මීට මාස පහකට පමණ පෙර. එක පැත්තකින් කොරෝනා ව්‍යසනය,අනෙක් පැත්තෙන් විවිධ කකුල් මාට්ටු සහ බාධක ඇතුළු විශාල ප්‍රශ්න රාශියක් මැද අපි මේ ගමන ආවා. අපි බොහොම අමාරු ගමනක් ආවේ. හැබැයි ජනතාව ඔප්පු කළා වැදගත් වන්නේ ගොඩනැගිලි සම්පත නෙවේ, මිනිස් සම්පතයි කියන දේ. අපිව වට කරලා අපිට ගල් ගහද්දී, මඩ ගහද්දී, ඊරිසියා කරද්දී මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාස තිබ්බා.
සමගි ජනබලවේගය ලියාපදිංචි කරලා මාස පහක් වගේ කාලයක්. මැතිවරණ මෙහෙයුමට තිබුණේ මාස එකහමාරයි. මේ ලැබූ ප්‍රතිඵලය සුවිශේෂී ඒ නිසයි.
1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා බලය ගන්න වසර හතරක කාලයක් ගියා. ඊට පස්සේ පොදුජන පෙරමුණත් බලය ගන්න වසර හතරක් පමණ ගියා. නමුත් අපි සමගි ජනබලවේගය විදිහට මාස හතරකදී මේ ප්‍රතිඵල පෙන්නුවා. අපිට අපිව බිහිකරන්න මුල් වූ පක්ෂයේ සහය ලැබුණේ නෑ.පක්ෂ කාර්‍යාලයක්වත් හරියට තිබුණේ නෑ. මහා පරිමාණ මාධ්‍ය සහයක් නෑ. වියදම් කරන්න විශාල මුදලක් තිබුණේ නෑ. මේ කෙටි කාලය තුළ අපේ ශාඛා සමිති පිහිටුවන්න කාලයක් තිබුණේ නෑ. පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න කාලයක් තිබුණේ නෑ. මැතිවරණ සටන පටන් ගත්ත දවසේ ඉදලා විවිධාකාර නඩු අපට දැම්මා. එක වෙලාවක කීවා අපි ලියාපදිංචි නෑ කියලා. තව වෙලාවක කීවා අපේ නාමයෝජනා අහෝසියි කියලා. සම බිමක් අපට තිබුණේ නැහැ.
මේ සියල්ල මැද ජනතාව අපිට ඡන්දය දුන්නා. අපේ ගමන අනුමත කළා. අපි හෙට නෙවේ අද සිටම අපේ වගකීම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් අපි අපේ ගමන ආරම්භ කරනවා. අපට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම අපේ බලවේගය තුළ සෙවන තියෙනවා. දැන් මේ රටේ තිබෙන එකම විකල්ප බලවේගය සමගි ජනබලවේගයයි.










