ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ Heart to Heart International (HHI) ආයතනය මගින් ඩොලර් 6,987,269.78ක (එනම් රුපියල් බිලියන 2.6ක) ආසන්න වටිනාකමකින් යුත් හදිසි වෛද්‍ය ආධාර තොගයක් සිව්වන වරටත් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය සියලුම රජයේ අනුමැතිය දැන් ලබාගෙන ඇත.
මෙම නවතම පරිත්‍යාගයට Everolinus, ඉන්ද්‍රිය බද්ධ කිරීම් සඳහා භාවිතා කරන ප්‍රතිශක්තිකරණ සහ පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන Sunitinib Malate වැනි විශේෂිත ඖෂධ ඇතුළත් වේ.
වොෂිංටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන ලද නොමසුරු පරිත්‍යාගයන් වෙනුවෙන් HHI ආයතනය වෙත සිය ස්තුතිය පුදකර සිටී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගීත්වයෙන් මෙම සිව්වන පරිත්‍යාගය එළඹෙන සතිය මුලදී ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත ලඟාවීමට නියමිතය. මෙම පරිත්‍යාගයට අදාළ සියළුම වියදම් Heart to Heart International ආයතනය විසින් දරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු වියදමකින් තොරව ක්ෂණිකව බෙදා හැරීම සඳහා මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගනු ලැබේ.
කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා හි මූලස්ථානය පිහිටි HHI ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.5 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙම ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත්වලදී, වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලගැන්වීම මගින් ප්‍රතිචාර දක්වා ඇත. මෙම සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර එය “Philanthropy 400” හිද ඇතුලත් ආයතනයකි.