ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතා නිතරගයෙන් තේරී පත් විය.
ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපති දමින්ද කුරේ මහතා විසින් නව සභාපතිවරයා වෙත සංකේතාත්මකව තනතුරේ වැඩ කටයුතු බාර දීම පසුගියදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පිහිටා ඇති ක්‍රිකට් විනිසුරුවන්ගේ මූලස්ථානයේදී සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතා සඳහන් කළේ වසර 76ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය හිමි වීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික්කයේ ළාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තමන් අතිශයින් සතුටට පත් වන බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒමේ අභියෝගය තමන් බාරගන්නා බවද ඒ මහතා එහිදී සඳහන් කළේය.
එහිදී දොලවත්ත මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.
“වසරකට ලංකාවේ පාසල් ක්‍රිකට් තරග 10,000කට වැඩිය අපි විනිශ්චය කරනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ තරග විශාල ප්‍රමාණයක් වාර්ෂිකව අපේ සංගමයේ විසුරුවරයන් විනිශ්චය කරනවා. ඒ හරහා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කෙරෙන සේවය අති මහත්. එවැනි සංගමයක සභාපති ධුරය බාර ගැනීම අභියෝගයක්. ඒ අභියෝගය සාර්ථකව ජය ගන්න පුළුවන් කියන විශ්වාසය මා සතුව තියෙනවා.
ඒ වගේම අපේ සංගමයේ පූර්ණ කාලීනව වෘත්තියේ නිරත වන විනිසුරුවන් 500කට අධික ප්‍රමාණයක් ඉන්නවා. පසුගිය කාලේ කොවිඩ් 19 තත්ත්වයත් එක්ක ඒ අය නොයෙක් අසීරුතාවයන්ට පත් වුණා. ඒ හින්දා ඒ වගේ තත්ත්වයන් ගැනත් අවධානය යොමු කරලා මේ සංගමය ඉදිරියට පවත්වා ගෙන මම බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි විනිසුරුවන්ගේ ගුණාත්මකබව දියුණු කිරීම හරහා සමස්ත ශ්‍රී ලංකාවේම ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළට ගෙන එන්න අපට හැකියාව ලැබේවි කියන විශ්වාසය මට තියෙනවා.
ඒ සඳහා අපිට ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ වගේම ක්‍රීඩා ඇමැතිවරයාගේත් පූර්ණ ආශිර්වාදය හිමි වෙලා තියෙනවා. ඒ හින්දා මේ ගමන යන්න අත්වැල්බැඳ ගන්න කියලා මම සියලු දෙනාටම ආරාධනා කරනවා.”
ඒ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතාගේ අදහස්ය.
1944 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වසර 76ක කාල සීමාවක් මුළුල්ලේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම කෙරෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. මේ අතර විනිසුරුවන්ගේ සංගමය සඳහා ස්ථිර ස්ථානයක් ලබා ගැනීම සඳහාද තමන් කටයුතු කරන බව අභිනව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.
ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ තරග ලේකම් සමන් හේවාවිතාරණ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම, සහකාර ලේකම් පාලිත කුලතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිිකට් විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් රැසක් එම අවස්ථාවට එක් විය.