යොහානි හැබෑවටම වීරයෙක්ද? යොහානි වීරයෙක්ද කියන කාරණාවට බොහෝ දෙනා බොහෝ අදහස් ඉදිරිපත් කරමින් තිබේ. සමහර අයට අනුව යොහානි වීරයෙක් නොවේ. සමහර අයට අනුව යොහානි වීරයෙක්ය. යොහානි වීරයෙක් බවට පත්වන්නේ කෙසේද? යොහානි වීරයෙක් නොවන්නේ කෙසේද? ඒ පිළිබඳ තර්කානුකූලව විග්‍රහයක යෙදෙන්නට මේ හොඳම කාලය බව අප විශ්වාස කරමු. යොහානි හදිසියේ මතුව ආවේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට ඈ සිදුකරන ලද ‘කවර් වර්ෂන්’ එකක් නිසාය. මේ ‘කවර් වර්ෂන්’ නම් වූ ගීත කලාව අද වන විට ලෝකය පුරා ප්‍රචලිතව ඇත්තකි. කවර් වර්ෂන් එකක් යනු අනෙකකු ගායනා කළ ගීතයකට තවත් කෙනකු විසින් ඉදිරිපත් කරන නව ගායනයක් අන්තර්ජාලගත (යූටියුබ්) කිරීමයි. එය සරලවම ගත් විට වෙන කෙනකුගේ සින්දුවක් තවත් කෙනකු විසින් ගායනා කිරීම බව අපට අමතුවෙන් පැහැදිලි කරගත යුතු නැත. නමුත් ආකාරයෙන් ඉදිරිපත් කරනා සමහර ගීත මුල් ගායනාවලට වඩා ජනතාවගේ ප්‍රතිචාර දිනාගැනීම බහුලව දකින්නට ලැබෙන්නකි. එය ශ්‍රී ලංකාවේදී පමණක් නොව, ලොව බොහෝ රටවල සිදුවන්නක් බව අපට අවිවාදයෙන් පිළිගන්නට සිදුවේ. ඒ නිසා කවර් වර්ෂන් එකක් කිරීම වරදක් යැයි හඳුන්වා දේ නම් එහි වරදක් තිබේ. නමුත් කවර් වර්ෂන් එකක් යනු ස්වතන්ත්‍ර ගායනයක් නොවන බව අප විසින් අමුතුවෙන් ඔබට පැහැදිලි කළ යුතුද නැත. කවර් වර්ෂන් එකක් සිදුකිරීමේදී එහි මුල් ගායකයාට හෝ මුල් නිර්මාණකරුට සියලු ගෞරවය හිමිවන අතර, කවර් වර්ෂන් එකකදී බොහෝ විට මතුව එන්නේම දෙවැනි, තුන්වැනි හෝ පසු ගායනයේ ගායකයාගේ හෝ ගායිකාවගේ හැකියාවය. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් සිදුවුණේ ඒකය. නමුත් යොහානි කරළියට ආවේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් නොවන බව අප බොහෝ දෙනකුට සිහිපත් කර දිය යුතුය. යොහානි කරළියට ආවේ කොතැනින්ද කියන එක පිළිබඳ අපටද නිශ්චිත අවබෝධයක් නැත. නමුත් යොහානි පිටකොටුව ආශ්‍රිතව සිදුකරන ලද ‘කවර් වර්ෂන්’ වීඩියෝ මාලාව බොහෝ විට ජනතාවගේ ආදරය දිනාගත් බව අපට මතක තිබේ. ඒ අනුව ගත් විට යොහානි, ‘මැණිකේ මගේ හිතේ’ ගීතය කරළියට එන්නට පෙර හොඳට ගෙදර වැඩ කර තිබුණු බව අපට පැහැදිලිය.
යොහානි ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයේ ප්‍රබලතම කණ්ඩායමක් වන බී. එන් එස්. සමග එකතු වන්නේද ඒ අනුවය. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය කරළියට එන්නටත් පෙර සිටම යොහානි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නාම කිහිපයකම වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටියාය. ඒ අනුව යොහානි යනු බ්‍රෑන්ඩඩ් ගායිකාවක් බව බොහෝ දෙනා විශ්වාස කොට තිබිණි. විශේෂයෙන්ම අලෙවි ප්‍රවර්ධන අංශය යොහානි වීරයෙක් බව පිළිඅරගෙන තිබුණේය. එහෙම නැත්නම් යොහානි ලවා තමන්ගේ වෙළෙඳ දැන්වීමට අදාළ පණිවුඩය කියවා ගන්නට ව්‍යාපාරික ආයතන මහන්සි වෙන්නේ නැත. ඒ අනුව යොහානි වීරයකු වන්නේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන්ම නොවන බව අපට මුලින්ම සඳහන් කරන්නට සිදුවේ.
නමුත් යොහානි ශ්‍රී ලාංකේය ගීත කලාව සමතික්‍රමණය කරමින් ලෝකයට යන්නේ මේ නව නිර්මාණය සමගය. එහිදී මුල් ගායනයට අදාළ සමහර ශිල්පීන්ද මේ සිදුවීමට සම්බන්ධ වන අතර මුල් ගායනයේ පද රචකයා පවා මේ කටයුත්ත සමග සම්බන්ධව සිටි බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
කැරොලිනා පොට්ෂෙන්කෝ කියලා කියන්නේ යුක්රේන සම්භවයක් සහිත දක්ෂ ශිල්පිනියකි. ඇය 13 හැවිරිදි සංගීත ශිල්පිණියක් වුවත් ඈ ‘ස්ටී්‍රට් මියුසීෂියන්ස්ලා’ අතර ඉතා ප්‍රකට තැනැත්තියකි. ඇය ජීවත් වන්නේ ඇමෙරිකාවෙ. ඈ ඉදිරිපත් කරන සමහර වාදන බලන්නට විශාල පිරිසක් ඈ වටා එකතු වෙයි. ඒ, ඈ සිය වාදන ඉදිරිපත් කරන ආකාරය ඉතා සුන්දර වූ බැවිනි. පසුගිය දිනෙක කැරොලිනා ඇමෙරිකාවෙ වීදියකදී ‘මැණිකේ මගේ හිතේ’ ගීතය තම වයලීනයෙන් වාදනය කළ ආකාරය බොහෝ දෙනකුගේ හිත් ගත්තා. මේත් සමග ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඇමෙරිකාවත් ආක්‍රමණය කරන්නට පටන් අරගෙන ඇති බව බොහෝ දෙනා පවසන කාරණයක්. මේ වන විට ලෝකය පුරාම තිබෙන සංගීත දර්ශකවල ඉහළම ස්ථානයට එන්නටත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට හැකිවෙලා තිබෙනවා. ඔබ දන්නවා මේ ගීතය සම්බන්ධව මුලින්ම ආකර්ෂණය දිනාගත්තේ ඉන්දියාවෙදි. ඉන්දියාව තුළ එය කොයි තරම් ආකර්ෂණයට ලක් වුණාද කියනවා නම් ඉන්දියාවට ශ්‍රී ලාංකිකයකුගේ පැමිණීම සඳහන් කරන්නට පවා ඔවුන් යොදාගත්තේ මේ ගීතය. එක් අවස්ථාවකදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර එකතු වන බව අදාළ පණිවුඩය සඳහන් කරන්නේත් ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් සමගයි. ඒ වගේම ලසිස් මාලිංගගේ සමුගැනීම සම්බන්ධව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් පළ කළ පෝස්ටුවේ ඔවුන් ඉහළින්ම සඳහන් කර තිබුනේ ‘සුකුමාලි නුඹ තමයි…’ යනුවෙන්. ඒ විදියට ගත්තාම ශ්‍රී ලංකාව සම්බන්ධව සන්නාමයක් වෙන තැනටම මේ ගීතය පත්වී අවසාන බවයි අපට දැනගන්නට තිබෙන්නේ. මේ සම්බන්ධව සිදුවුණු ඉතා වැදගත්ම රාජ්‍යතාන්ත්‍රික කාර්යය බවට පත් වුණේ, සංස්කෘතික තානාපතිනිය ලෙස, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබැඳියාව වර්ධනය කිරීමේ කාර්යය සඳහා යොහානිව පත්කිරීමයි. හැබැයි බොහෝ දෙනකු තවමත් යොහානිව වැලඳ ගන්නට පමා වී තිබෙන බවයි අපට දැනෙන්නට පටන් අරගෙන තිබෙන්නේ. ඒ වැලඳගැනීම පමාවීමට හේතු වන්නට ඇත්තේ සමහර විට යොහානිගේ විලාසිතාව, ඇය හැසිරෙන ආකාරය, කොණ්ඩා විලාසිතාව වන්නට පුළුවන්. නමුත් ඒ, ඇය ඇයටම අනන්‍යව සිදුකරන කටයුත්තක් නිසා කිසිවකුට ඇයට ඇඟිල්ල දිගුකරන්නට හෝ චෝදනා කරන්නට අයිතියක් නැත.
මේ අවස්ථාවේ අපට තේරුම් ගන්නට බැරි කරුණ තමයි ලංකාවේ සංගීතය ලොවට රැගෙන යා යුතුයි කියලා බොහෝ විට කටයුතු කළ බොහෝ දෙනෙක්, ශ්‍රී ලාංකේය සංගීතය ලෝකයට ගිය මේ අවස්ථාවේදී ඒ කටයුත්ත ජයග්‍රහණයක් විදියට නොසැලකීම. අපි දන්නෙ නෑ ඔවුන් සතු සංගීත දැනුම අනුව මේ කටයුත්තේ යම් අඩුවක් අවුලක් ඔවුන් දකිනවාද කියලා. සමහර විට ඔවුන් ගෙනෙන තාර්කික කාරණාවල ඇත්තක් තිබෙන්නට පුළුවන්. එහෙම නමුත් අපට නොබියව වර්ණනා කරන්නට කාරණයක් මේ අවස්ථාවේ තිබෙනවා. අපට මතකයි ලෝකය සමහර ගීත අපිත් යන එන අතරතුරේ මුහුනන්නට පටන් ගන්නවා. සමහර ඒවා ඉන්දියාවේ. සමහර ඒවා ඇත්තටම කුමන ජාතිකයකුගේ ගීතයක්ද, මොන භාෂාවට අයිතිද කියන්න අපි දන්නෙ නෑ. ‘ටොකෝ ටොකෝ’ කියන ගීතය එවැන්නක්. ‘වයි දිස් කොලවරි’ කියන ගීතයත් මෙවැන්නක්. ඒ වගේම ‘ගැන්ගම් ස්ටයිල්’ කියන ගීතයත් නර්තනයත් සමගම අපි අපේ කරගත්ත ගීතයක්. ඒවා අපි අතරට එන්න අපි වැලඳ ගන්න විවිධ හේතු තිබෙන බව ඇත්ත. ඒ වගේම යොහානිගෙ නිර්මාණයත් ලෝකය වැලඳගන්නට යම් කිසි හේතුවක් ඇති. අමිතාබ් භච්චන් මේ ගැන කියන්නේ, ඔවුන් නිවෙසේ සිටින විට නිතරම මේ ගීය ඇහෙන බව. මේ ගීයට වැඩිපුරම ඇලුම් කරන්නේ ඓශ්වර්යාගේ සහ අභිෂේක්ගේ දියණිය බවයි ඔහු සඳහන් කරලා තිබුණේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකයේ ප්‍රකට නාලිකාවල පවා යොහානි හා සම්මුඛ සාකච්ඡා කරමින්, ඒ ගැන හඳුන්වාදීම් සිදුවෙනවා අපි දුටුවෙමු. මේ වන විට ප්‍රකට නාලිකාවල පවා ඇය හා සම්මුඛ සාකච්ඡා සිදුකරන අයුරු අපි දුටුවෙමු. නමුත් තවමත් යොහානිට ඇගේ හැකියාව සම්බන්ධව හෝ යොහානි විසින් කරපු මේ අරුම පුදුම කටයුත්ත සම්බන්ධයෙන් හෝ නිසි ගෞරවය ලැබී තිබේදැයි යන්න අපට ප්‍රශ්නයකි. මේ නිසි ගෞරවය ඈට ලබා නොදීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැනත් අපට නිකමට මේ වෙනකොට දැනෙමින් තිබේ.
තමන් මේ සංගීත කරළියේ රජ වෙන්නට හිතාගෙන සිටි බොහෝ අයට හදිසියේ රැජිනියක් පහළවීම නිසා තමන්ගෙ ඔටුන්න අහිමිවේදැයි බියක් දැනෙනවා විය හැකියි. නමුත් මේ අවස්ථාවේදී ඇයට අවශ්‍ය නිසි ගෞරවය ලබාදීමට අපි කාටත් වගකීමක් තිබෙනවා. ලෝකයට අපේ සංගීතය රැගෙන ගියා යැයි අප විසින් පසසන බී. එන් එස්.’ලා කිසිසේත්ම මේ කටයුත්තේදී පහත් කොට සැලකිය යුතු නැත. ඒ වගේම ඉරාජ් වීරරත්න ඇතුළු බොහෝ ගායන ශිල්පීන් අපේ සංගීතය ලෝකයට රැගෙන යන්නට වෙහෙසුණු බව හැබෑවකි. නමුත් අප මේ මොහොතේදී යොහානිගේ ජයග්‍රහණයට අත්පොළසන් නොදේ නම් අපට චෝදනා කරන්නට සිදුවන්නේ ඔබ කුහකයකු විදියටයි. එසේ වන්නේ මෙය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අපූර්වත්වය පිළිබඳ ලෝකය ගිය පණිවුඩයක් නිසාවෙන්. ඒ වගේම මේ නිර්මාණය ස්වතන්ත්‍ර නිර්මාණයක් වුණා නම් ඒ වගේම මේ නිර්මාණයේ මීට වඩා සිංහලකමක් හෝ අපේකමක් හෝ තිබුණා නම් හොඳය කියනා කාරණාවට අපට එකඟ විය හැකියි. නමුත් මේ අවස්ථාවේ අපට කියන්නට තිබෙන්නේ අඳුර ශාප කරමින් සිටි අපට එක පහනක් හෝ දැල්වුණායින් පසු සතුටු වන්නට හැකි නම් එයයි අපේ ජයග්‍රහණය. එසේ නොවේ නම් යොහානිලා වෙන කිසි දිනෙක බිහි නොවනු ඇති. බොහෝම මෑත දිනෙක යොහානිත් කටුනායක ගුවන් තොටෙන් ඉන්දියාවට පිටත්ව ගිය පසු ඇගේ හැකියාවෙන් හෝ ඇගේ ශක්තියේ ප්‍රමාණයෙන් ප්‍රයෝජන ගන්නට ඉන්දියාව සැදීපැහැදී සිටින බව නම් විශ්වාසය. බොහෝ විට සිදුවන්නේත් ඕකමය. අපි දක්ෂයන් තැනූ පසු අපි හිටවූ ගොයමෙන් අස්වනු නෙලන්නේ වෙන වෙන කණ්ඩායම්ය.
ශ්‍රී ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එක මීට වඩා ඉහළ තැනකට ඔසවා තබන්නට වගකීමක් තිබේ. එසේම ලෝකයේ ද්‍රවිඩ චිත්‍රපට සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව හැබෑවකි. එහෙම නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සම්මිශ්‍රණයක් සමග දැවැන්ත නිෂ්පාදන ඉදිරිපත් කරන්නට තවදුරටත් අපේ නිෂ්පාදකයන් හෝ නිර්මාණකරුවන් පමාවන්නේ කුමක් නිසාදැයි අපට නොතේරේ. ජැක්ලින්ලා මේ වන විට ඉන්දියාවට සින්නක්කර වී හමාරය. ‘වයි දිස් කොලවරි’ ගීය ගායනා කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගායිකාව දැන් ඉන්දියාවට සින්නවී හමාරය. සමහර විට යොහානිත් ඉන්දියානු සංගීතයට සින්නක්කර වූ පසු අපට සිදුවන්නේ යළිත් වතාවක් සිනමා ශාලාවලට මිනිසුන් නොයන බව කියමින් අතින් කීයක් හරි දී තමන්ගේ නිර්මාණය සිනමා ශාලාගත කරගන්නට වෙහෙසෙමින් යළිත් පරණ පුරුද්දටම, පරණ විදියටම නිර්මාණ සිදුකිරීමටය. ඒ නිසා අපි හැකි ඉක්මනින් යොහානි ඔපමට්ටම් කර පාවිච්චියට ගත යුතුය. නැතිනම් සිදුවන්නේ අපේ මැණික් පිටරටවල ඔටුනුවලට අල්ලනවා මිස, අපට අපේ මැණික්වල දිස්නයෙන් කිසිවක් කරගන්නට බැරිවීමය.
ජීවන පහන් තිළිණ










